Presidential Secretariat of Sri Lanka

“එක්සත් අරාබි එමිර් රාජ්‍යය – ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය” ඔක්තෝබර් මස 20 සිට 29 දක්වා

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සංවිධානය කෙරෙන “එක්සත් අරාබි එමිර් රාජ්‍යය – ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය” පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පැවැත්විණි.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය 2023 ඔක්තෝබර් මස 20 සිට 29 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ RAK ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

“පශ්චාත් වසංගත ලෝකයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම” තේමාව යටතේ ‍එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත මණ්ඩලය එක්ව මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ගල්ෆ් තීරය සහ මැදපෙරදිග ආර්ථික සන්දර්භයන් තුළ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ආයතන සඳහා නව අවස්ථා ගවේෂණය කිරීම, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, ගල්ෆ් තීරයේ සහ මැදපෙරදිග රටවල සමාගම් හා ශ්‍රී ලාංකික සමාගම් අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම මෙම ප්‍රදර්ශනය මඟින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම ශ්‍රී ලංකා අපනයන අභිමුඛ නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනය කිරීම මෙහි තවත් අරමුණකි.

මෙම සම්මේලනය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයටත් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත මණ්ඩලයටත් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ක්‍රමෝපායික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය සහ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද, ‍එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනෙයේ හා ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

Most popular