Presidential Secretariat of Sri Lanka

ගාලු මුවදොර – ෂැංග්‍රිලා හරිත පරිශ්‍රයේ වෙසක් වැඩසටහනට විශාල පිරිසක්

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සංවිධානය කර තිබු මහා බත් දන්සැල දෙවන දිනටත් ඊයේ (06) පැවැත්වුණු අතර ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

දුෂ්කර කාලපරිච්ඡේදයක් නිමා කරමින් වසර හතරකට පසුව වෙසක් උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට මෙවර ජනතාවට අවස්ථාව ලැබී තිබු අතර ජනතාව විශාල උනන්දුවකින් සහ උද්‍යෝගයකින් යුතුව ‍ඒ සමග එක්ව සිටීම විශේෂත්වයකි.

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා ද ජනතාව විශාල පිරිසක් ගාලු මුවදොර වෙත පැමිණ සිටියහ.

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය සහ සිංගප්පූරුවේ විලින් හාර්ට්ස් (Wiling Hearts) පදනමේ දායකත්වයෙන් මැයි 05 වනදා ෂැංග්‍රිලා හරිත භූමියේ දී මහා බත් දන්සැල විවෘත කෙරුණු අතර සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය පූජ්‍ය කරදෙටියන ගුණරතන ස්වාමින් වහන්සේ සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

එම පරිශ්‍රයේ ඉදිකර ඇති විචිත්‍රවත් තොරණේ විදුලි ආලෝකය දැල්වීම ද ඒ හා සමගාමීව සිදු කෙරිණි.

මේ අතර කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කළ ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය වෙසක් පුන් පොහෝ දින විවෘත කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදු විය.

ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජී.එල්.පීරිස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය අදින් (07) අවසන් වන අතර එහි නිර්මාණකරුවන්ට තිළිණ සහ කුසලතා සහතික පිළිගැන්වීම අද රාත්‍රියේ දී සිදු කෙරේ.

පුවත්