Presidential Secretariat of Sri Lanka

මෙරට වියළි කලාපයේ “දේශගුණික සුහුරු වාරි කෘෂිකර්මාන්තය” ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලීමට ලෝක බැංකු නියෝජිත පිරිස ක්ෂේත්‍ර චාරිකාවක

ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (29) අනුරාධපුර, තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්‍ර චාරිකාවකට එක් වූහ.

දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ (Climate Smart Irrigated Agriculture Project -CSIAP) ප්‍රගතිය විමසා බැලීම මෙම සංචාරයේ අරමුණ විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් ජනපද නිල සංචාරය අතරතුරදී ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සමඟ පැවැත්වු විශේෂ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේශගුණික හිතකාමී තිරසාර කෘෂිකාර්මික වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා සහාය වන ලෙස කළ ඉල්ලීමට අනුව ඒ පිළිබඳ සොයා බැලිම සඳහා ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ මහත්මිය පළමුවරට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ, මාන්නම්කුලම ගම්මානයේ “දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසල” නමින් ගොවි පුහුණු පාසලක් පිහිටුවීමට දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ පියවර ගෙන තිබේ. දේශගුණික සුහුරු කෘෂිකර්මය භාවිතයන් සහ අති නවීන කෘෂිකාර්මික තාක්ෂණයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ගොවීන් වෙත ලබාදීම මෙම ගොවි පුහුණු පාසල මඟින් සිදු කරනු ලැබේ.

ඒ අනුව දේශගුණ සුහුරු වාරි කෘෂිකර්මය පිළිබඳ පුහුණුව ලැබූ ගොවීන්ට සහතික පත් පිළිගැන්වීම ද මෙහිදී ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂිකා ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

ලෝක බැංකු ආධාර මත කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ අපනයනය ඉලක්ක කර ගත් රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට ද අනතුරුව නියෝජිත පිරිස එක් වුහ.

අදාළ ප්‍රදේශවල කුඩා වතු හිමියන්ගේ සහ ගොවි පවුලවල ආදායම සැලකිය යුතු මට්ටමින් වැඩිදියුණු කිරීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වී තිබෙන අතර රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.

මෙහිදී අදහස් දැක්වු ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ මහත්මිය කලාපයේ ගොවීන් සඳහා දේශගුණික විපර්යාස හා නවීන කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කෙරෙන පුහුණු පාසලක වැදගත්කම පෙන්වා දුන් අතර එම දැනුමෙන් ගොවීන් සන්නද්ධ කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ද පෙන්වා දුන්නාය.

සූර්ය බලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය වෙත ප්‍රවේශ වීම, අධික ලෙස ඩීසල් මත යැපීම අවම වීම සහ ස්ථාවර ජීවනෝපාය මාර්ග ඇති කිරීම මෙන්ම උසස් අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපනය සඳහා ප්‍රවේශවීමට දරුවන්ට අවස්ථාව ලැබීම, විවිධාංගීකරණය වූ තිරසාර බෝග අස්වැන්න, වඩා හොඳ පෝෂණයක් සහතික කිරීම මෙහි ප්‍රධාන ප්‍රතිලාභ ලෙස ඇය පෙන්වා දුන්නාය.

මෙම ව්‍යාපෘතියට සහාය දැක්වීමට ලෝක බැංකුවට හැකිවීම පිළිබඳ සතුට පළ කළ ඇනා බ්යාර්ඩේ මහත්මිය දේශගුණික විපර්යාස මගින් එල්ල වන අභියෝග අවම කර ගැනීමට මෙවැනි ව්‍යාපෘතිවල ඇති වැදගත්කම ද පෙන්වා දුන්නාය.

ගොවි ජනතාවගේ ජීවිත සහ ජීවනෝපාය මාර්ගයන් යහපත් කිරීම සඳහා ධනාත්මක බලපෑම් එල්ල කළ හැකි අන්දම පිළිබඳ ලබා ගන්නා ආදර්ශයන් සහ අත්දැකීම් මත මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකි බවද ඇය සඳහන් කළාය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono), ලෝක බැංකුවෙ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කළමනාකරු චියෝ කන්දා (Chiyo Kanda), ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයෙහි (USAID) නියෝජ්‍ය සහකාර පාලක අංජලී කෞර් (Anjali Kaur), ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් හදාද් සර්වොස් ((Faris Hadad-Zervos) ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයෙහි (JICA) දකුණු ආසියා ජ්‍යේෂ්ඨ උප සභාපති සචිකෝ ඉමෝටෝ (Sachiko Imoto) යන මහත්ම මහත්මීන් සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) සහ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) යන ආයතනවල නියෝජිතයන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

පුවත්