Presidential Secretariat of Sri Lanka

ඩිජිටල් ආර්ථික පරිවර්තනය, තෝරාගැනීමක් නොව අවශ්‍යතාවයක්

  • ‘INFOTEL 2023’ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනපති පවසයි.

ඩිජිටල් ආර්ථිකයට පරිවර්තනය වීම තෝරාගැනීමක් නොව අවශ්‍යතාවයක් බවත්, ඒ සඳහා පළමුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් වැඩි දියුණු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටක් ලෙස තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා යම් කාලයක් ගත වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අධ්‍යාපන හා වෙළෙඳපොළ උපායමාර්ග යන ක්ෂේත්‍රවල අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසද අදාළ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ’ සමාරම්භක අවස්ථාව‍ට අද (03) පෙරවරුවේ එක්වෙමිනි.

නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව “ඩිජිටල් ආර්ථිකය පණ ගන්වමු” යන තේමාව යටතේ තාක්ෂණ අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) විසින් සංවිධානය කරන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ නොවැම්බර් 05 වනදා දක්වා පැවැත්වේ.

ඩිජිටල්කරණය පාසල් පද්ධතියට ගෙන යාමේදී ගුරුවරුන්ගේ පුහුණුව වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහයෝගීතා ප්‍රයත්නයක අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එහිදී තාක්ෂණික හා උපාධිධාරී යන මට්ටම් දෙකෙහිම පශ්චාත් පාසල් පුහුණු අවස්ථාවන් ඇති කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ලාභාංශ මත පදනම් වන හෝ ලාභාංශ මත පදනම් නොවන පුහුණු වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී කාර්මික ක්ෂේත්‍රය යම් කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි. එසේම පුහුණු වෘත්තිකයන් සඳහා ඇති ඉල්ලුම සපුරාලීම ඉලක්ක කරමින් ඊට අවශ්‍ය ආයතන පිහිටුවීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඩිජිටල් ආර්ථිකයක් තුළින් ඩොලර් බිලියන 16ක වෙළෙඳපොළ ඉලක්කය සපුරා ගැනීමේ වැදගත්කම හඳුනාගෙන වෙළෙඳපොළ විනිවිද යාම සඳහා උපාය මාර්ගයක් සකස් කළ යුතු අතර වෙළෙඳපොළට පිවිසීම සඳහා හොඳින් සිතා බලා ක්‍රියාත්මක කරන සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ලෝකයේ විශාලතම ජෛවමිතික හැඳුනුම්පත් පද්ධතිය වන ආධාර් (Aadhaar) පද්ධතියේ වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් භූ දර්ශනයට එය ඒකාබද්ධ කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවට ආධාර් පද්ධතිය ලබාගැනීම ගැනීම වෙනුවෙන් ඉන්දීය රජය සමඟ සිදු කරනු ලබන සාකච්ඡා පිළිබඳ සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජය මගින් ප්‍රතිලාභීන් වෙත අරමුදල් ලබාදීමේදී එවැනි පද්ධතියක් පැවතීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

මෙම සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ සභාපති ඉන්දික ද සොයිසා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර පාසල් සිසුන් විසින් තාක්ෂණික ක්ෂේත්‍රයේ සිදු කර ඇති නවෝත්පාදන දායකත්වයන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත්, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය එන්.ඩී. ගුණවර්ධන සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්