Presidential Secretariat of Sri Lanka

ඩිජි – ඉකොන් (DIGIECON) ආර්ථික සංකල්පය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය යෝජනා මෙවර අය – වැයෙන්

  • ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරරත්න.

2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් ඩිජිටල් ආර්ථිකයන් තුළින් ශ්‍රි ලංකාවට ලබා ගැනිමේ අරමුණින් ක්‍රියාත්මක DIGIECON ආර්ථික සංකල්පය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය යෝජනා මෙවර අය – වැය තුළින් ජනාධිපති ‍රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනු ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරරත්න මහතා පැවසීය.

ශ්‍රි ලංකාවේ පළමු වරට පුළුල් රාජ්‍ය සහ පුද්ගලික හවුකාරිත්වයක් යටතේ ඩිජිටල් ආර්ථිකය ගොඩනැංවීමටද ජනාධිපතිවරයා තාක්ෂණ අමාත්‍යංශයට උපදෙස් දී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සියලු පාර්ශව සමඟ ඉතා සාර්ථක සාකච්ජා ගණනාවක් පැවත්වූ බවත්, එහිදී ලැබුණු යොජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී ඇති බවත් සචින්ද්‍ර සමරරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන “වන් ඕ වන් කතා” වැඩසටහනට එක්වෙමිනි.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ සචින්ද්‍ර සමරරත්න මහතා මෙසේද සඳහන් කළේය,

පරිගණකයෙන් කරන්න පුළුවන් දේවල් ගැන කතා කරන විට අප ‘e ‘ශ්‍රී ලංකාව පිළිබඳ කතා කළා. 2015 වන විට ‘e‘ වලින් වෙනස් වෙලා ඩිජිටල් කියන කාරණය කරලියට ආවා. එසේම ඩිජිටල් කියන කාරණය ස්මාර්ට් ෆෝන් එකට ආවා. ආර්ථිකය තුළ අප දකින ගැනුම් විකුණුම් වැනි කටයුතු පවා අද වන විට ඩිජිටල්කරණය වෙලා තිබෙනවා. මේ විශාල වෙනස ඇතිවුණේ අන්තර්ජාලය හරහායි.

මේ වසරේදී ජනාධිපතිතුමාගේ උපදෙස් මත DIGIECON ආර්ථික සංකල්පය ඉදිරිපත් කළා. එය 2030 වසර දක්වා ගෙන යන සාර්ථක වැඩපිළිවෙළක්. ඩිජිටල් කියන දේ හැමදාම වෙනස් වන දෙයක්. රාජ්‍ය හා පෞද්ගලික අංශ එකතු කරගෙන ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ පළමු පියවර මේ වනවිට තබා තිබෙනවා. එමඟින් දැනට තිබෙන ආර්ථිකය වර්ධනයට ඩිජිටල්කරණයේ දායකත්වය 20%ක් දක්වා වර්ධනය කිරිමට හැකියාව ඇති කරනවා. මේ හරහා විශාල ආර්ථිකය දියුණුවක් ලබාගත හැකියි. ලංකාවේ බොහෝ දෙනෙක් මෙම ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය නිර්මාණය කිරිමට දායක වී තිබෙන බවත් කිවයුතුයි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම ලෝක බැංකුව සමඟ එක්වයි. තාක්ෂණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ගියහොත් මේ පිළිබඳ දළ අදහසක් ඕනෑම කෙනෙකුට ලබා ගත හැකියි. ඩිජිටල් ආර්ථිකය මඟින් නව උත්පාදනයට විශාල කොටසක් ලබා දී තිබෙනවා. මෙම ඩිජිටල් ආර්ථිකයෙන් කිසි කෙනෙකුට ඉවත් වෙන්න හැකියාවක් නැහැ. ඉවත් කරන්නත් බැහැ. ආර්ථිකයේ දී සලකා බැලෙන්නේ මෙම ප්‍රතිපත්තිය දිගුකාලීන ද නැද්ද යන්නයි.

රාජ්‍ය අනුග්‍රහය තිබෙන නිසා මෙම වැඩසටහන දිගුකාලීන ලෙස ක්‍රියාත්මක කළ හැකියි. එහිදී ආයෝජන විශාල වශයෙන් පැමිණිය හැකියි. ජාත්‍යන්තර ආයෝජකයන් යම් රටක ආයෝජනයක් කරන විට එරට තිබෙන ඩිජිටල්කරණ මට්ටම සලකා බැලීම සිදු කරනවා.

ඩිජිටල් ආර්ථිකය ප්‍රගමනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම ඉතාම වැදගත් වෙනවා. මේ සඳහා ආයතනයක් ස්ථාපිත කරනනවා නම් වඩාත් හොඳයි. DIGIECON කියන අදහස පැමිණියේ ජනාධිපතිවරයා වෙතින්. ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීම ද යෝජනා කළේ එතුමායි. මේ සියලු අංශ එකතු කරගෙන මෙරට ආර්ථිකය ඉහළ තැනකට ඔසවා තැබීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. ජනතාවගේ ආකල්ප වෙනසක් ඇති කර මෙයට දායක වෙනවා නම් කඩිනමින් ආර්ථිකය සංවර්ධනය කළ හැකියි. සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් ආර්ථික දියුණු වුණේ ඒ ආකාරයට කටයුතු කිරීම මඟින්.

වෙනත් රටවල් ඩිජිටල් ආර්ථිකයට අයවැය තුළින් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. අපනයන කේෂ්ත්‍රය සංවර්ධනය කිරිමට නම් ඩිජිටල් ආර්ථිකය සඳහා ආයෝජනය කිරීම අවශ්‍යයි. තොරතුරු තාක්ෂණ ආයතන ලෙස අප ලෝක බැංකුව සමඟ පසුගිය වසර 10ක පමණ කාලයක් ගනුදෙනු සිදු කළා. එහිදී ලංකාවේ තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ සීඝ්‍ර වර්ධනයක් සිදුවුණා. එහි තවදුරටත් වර්ධනය සඳහා වෙනම ක්‍රමෝපායන් සකස් කිරීමට අවශ්‍යයි. ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ආයතිනක රාමුවක් වගේම අයවැය අනුග්‍රහයත් ඉතා වැදගත් වෙනවා. එම ලබාදෙන අනුග්‍රහය තුළින් රාජ්‍ය හා පෞද්ගලික අංශ සවිබල ගැන්වීම සිදු වෙනවා. එයින් ලැබෙන දිරිගැන්වීම හරහා ශ්‍රී ලංකාවේ අර්ථිකය ශක්තිමත් ස්ථානයකට ගෙන ඒමට හැකියාව තිබෙනවා.

දැනට ඩිජිටල් ආර්ථිකය සඳහා දළ දේශිය නිෂ්පාදනයෙන් 4.3%ක් පමණ වැය කරනු ලබනවා. මෙම ප්‍රමාණය 20%ක් පමණ දක්වා ඉහළ දැමීම තුළින් ඩිජිටල් ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකියි. ඩිජිටල්කරණය තුළින් රාජ්‍ය සේවය වෙනස් වෙන්නේ කොහොමද, ජනජීවිතය වෙනස් වෙන්නේ කොහොමද කියා බලාගත හැකියි. 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් ඩිජිටල් ආර්ථිකයන් තුළින් ශ්‍රි ලංකාවට ලබා ගැනිමේ අරමුණින් ක්‍රියාත්මක DIGIECON ආර්ථික සංකල්පය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය යෝජනා මෙවර අය – වැය තුළින් ජනාධිපති ‍රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඩිජිටල් රටක් ඇති කිරීම සඳහා මේ වන විටත් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය කටයුතු කර තිබෙනවා. ඒ පදනම මත ඉදිරියේදී ඩිජිටල්කරණයක් වූ රටක් නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. මේ තාක්ෂණය ඔස්සේ 2011 සිට 2018 දක්වා ඕස්ට්‍රේලියාව වෙළෙඳ ‍පොළට අපේ ආයතන යොමු කර තිබෙනවා. ඒ නිසා අප දැමු අඩිතාලම අතික්‍රමණය කිරීම සඳහා මෙම ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ නිර්මාණය කළ යුතුයි. එම නීති රාමුව ද ශක්තිමත්ව සකස් කළ යුතුයි.

ඔස්ට්‍රේලියාව ඩිජිටල්කරණය වූ ආකාරය අධ්‍යයනය කිරීම මගින් තමයි අප ආයතනය රටට ගැලපෙන ආකෘතිය නිර්මාණය කළේ. ශ්‍රී ලංකාවට එය හඳුන්වාදීමේදී නායකත්ව පුහුණුවක් ලබා දෙනවා. මේ ප්‍රවේශය සඳහා අවශ්‍ය තාක්ෂණ සහාය අප ලබා ‍දෙනවා. ඒ සඳහා රජයේ සහායත් ලබාදෙන්න සූදානම් කර තිබෙනවා. මෙවැනි අවස්ථාවක් නැවත එන්නේ නැහැ. ඒ නිසා ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කර එහි ඵලදායිතාව ශ්‍රී ලංකාවට ලබා ගන්න අවශ්‍යයි. මෙමඟින් පුද්ගල, ආයතන ඵලදායිතාව වැඩි කර ගතහැකියි. ඒ වගේම එම ඵලදායිතාව රටේ ආර්ථිකයට ගුණාත්මක ලෙස බලපෑම සිදු වන නිසා මෙරට ආර්ථිකය සීඝ්‍ර සංවර්ධනයකට නතු කිරීමට හැකියාව පවතිනවා.

පුවත්