Presidential Secretariat of Sri Lanka

ජනපතිගේ රට ගොඩනඟන වැඩපිළිවෙළට තරුණ ප්‍රජාවගේ දායකත්වය අවශ්‍යයි

  • ජාතික තරුණ පාර්ලිමේන්තුවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ 05වන සැසිවාරය නොවැම්බර් 18 සහ 19 දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්විණි.

මෙවර සැසිවාරයේ තේමාව වූයේ “වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා 2024 අයවැය යෝජනා ඵලදායී ලෙස යොදා ගැනීම වෙනුවෙන් තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීම” යන්නයි.

මෙහි පළමු දින ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න යන මහත්වරු සහභාගී වූහ.

වේත්‍රධාරී විසින් සෙංකෝලය රැගෙන සභා ගර්භයට පිවිසීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ 05වන සැසිවාරය ආරම්භ කෙරුණු අතර එහි අග්‍රාමාත්‍ය පැතුම් රණසිංහ මහතා සැසිවාරය ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදු කළේය.

තරුණ පාර්ලිමේන්තු පනත, දේශපාලන ඇකඩමිය සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල කාර්යභාරය මෙන්ම තරුණ පාර්ලිමේන්තුව ඩිජිටල්කරණය යන කරුණු පිළිබඳව ද මෙවර සැසිවාරයේ දී අවධානය යොමු කෙරිණි.

එමෙන්ම 2024 අයවැය වෙනුවෙන් තරුණ යෝජනා සහ අදහස් ලබාදීම අගය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුත් ලිපියක් ද මෙහිදී තරුණ පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් වෙත පිරිනැමිණි.

මෙහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ජනප්‍රිය තීන්දු තීරණ ගෙන රටේ ආර්ථිකය නැවත කඩාවැටුණ යුගයකට ගෙන යෑමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.

2022 වසරට පෙර රටේ තිබූ තත්ත්වය සහ අද පවතින තත්ත්වය අතර විශාල වෙනසක් ඇති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන එම වැඩපිළිවෙළට තරුණ ප්‍රජාවගේ ද දායකත්වය අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

මේ වන විට ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය පිළිබඳව තරුණ පාර්ලිමේන්තුවේ සාමාජිකයන් යම් අවබෝධයක් ලබා ඇති බව අප විශ්වාස කරනවා. දැනට ස්ථාවරත්වයට පත්ව තිබෙන රටේ ආර්ථිකය, පූර්ණ ස්ථාවරත්වයකට ගෙන ඒම මෙවර අයවැයේ ප්‍රධාන අරමුණ බව කිවයුතුයි.

ඒ වගේම 2024 වසර ආර්ථික වර්ධනයක් ලැබූ වසරක් බවට පත් කිරීමත් මෙවර අයවැයේ තවත් අරමුණක් වෙනවා. මේ සඳහා රටේ සියලු ජනතාව විශාල කැප කිරීමක් සිදුකළා. විශේෂයෙන්ම 2022 වසර දෙස නැව හැරී බැලුවොත් ඒ කටුක, අමිහිරි අත්දැකීම් නැවත මේ රටේ ඇති වෙනවා දැකීමට කිසිවෙක් කැමති නැහැ. ඒ නිසා අර්බුදය ඇති වීම සහ එම අර්බුදය ඇති වීමට බලපෑ හේතු පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව රට ඉදිරියට ගෙන යෑමේ අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතාම අධිෂ්ඨානශීලීව නායකත්වය ලබාදී තිබෙනවා. ඒ නායකත්වයට මේ රටේ ජනතාව සහයෝගය ලබා දී තිබෙනවා. එතුමා කොතෙක් අධිෂ්ඨානශීලී වුවත්, ඒ අධිෂ්ඨානශීලීත්වය පිළිබඳව විශ්වාසයක් මහජනතාවට නොතිබුණා නම් මාස 15කට කලින් තිබූ රටත්, අද මේ අත්විඳින රටත් අතර පරතරය පියවා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ජනාධිපතිතුමාගේ සිට මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ජනාධිපති කාර්යාලය, විවිධ අමාත්‍යාංශ සහ මේ රටේ ජනතාව එකට අත්වැල් බැඳගෙන ලබා ගත් ආර්ථික ස්ථාවරත්වයක් අද අප සියලුදෙනා මෙලෙස භුක්තිවිඳිනවා. මේ ගමන් මඟ පහසු වුණේ නැහැ. මෙම තත්ත්වයට පරිවර්තනය වීමේදී අප විශාල වේදනාත්මක කාලපරිච්ඡේදයක් පසු කළා.

මේ ආකාරයට ආර්ථිකය කඩාවැටුණු එකම සහ පළමු රට ශ්‍රී ලංකාවත් නෙමෙයි. නමුත් කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා නිවැරදි ගමන්මඟකට පිවිසි රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. මේ ආර්ථිකය නැවත යහපත් මට්ටමකට ගෙන ඒම දේශපාලන කෝණයෙන් බැලිය යුතු දෙයක් නොවෙයි. මෙහිදී ජනාධිපතිතුමා ඇතුළු රජය ජනප්‍රිය වූ තීන්දු තීරණ අරගත්තේ නැහැ. රජය ජනප්‍රිය වීමට තීන්දු තීරණ ගත්තා නම්, මේ රටේ තත්ත්වය 2022 වසරට පෙර තිබූ තත්ත්වයට වඩා තවත් බරපතල වෙන්න තිබුණා.

මේ ආකාරයට රට ඉදිරියට ගෙන යෑමේදී තරුණ දායකත්වය ද අපට අවශ්‍යයි. ප්‍රාදේශීය සංවර්ධන කටයුතුවලදි තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීමට අප කටයුතු කරනවා. තරුණ ඔබගේ අදහස් හා යෝජනා අපට ලබා දෙන්න. පිළිගත හැකි තිරසර යෝජනාවලියක් ලබාදීමට තරුණ ඔබ කටයුතු කළහොත් අදාළ සංශෝධන කිරීමට අප සූදාම් බව සඳහන් කරන්න කැමතියි.

අයවැයේ හොඳ කරුණු සහ තවදුරටත් ප්‍රවර්ධනය විය යුතු කරුණු කාරණා පිළිබඳව අධ්‍යයනය කරන්න. එකිනෙකා දකින අන්දමින් තීන්දු ගන්නවා වෙනුවට, දත්ත සහ ඉලක්කම් මත පදනම්ව, නිසි ඇගයීමකට ලක්වන තීන්දු තීරණ ගැනීමේ ප්‍රතිපත්තියක් මේ වන විට ජනාධිපතිතුමා සහ රජය ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ අනුව ලෝකයේ හොඳ භාවිතාවන් සමඟ රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළට තරුණ ප්‍රජාවගේ ද සහාය අවශ්‍යයි.

තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂවරුන් වන රන්දුල අබේධීර, සතිර සරත්චන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්