Presidential Secretariat of Sri Lanka

ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර ඇඟළුම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා (Faisal F.Alibrahim) අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන් ඇඟළුම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින සබදතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍යවරයා පැවසීය.

එසේම කලාපය තුළ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට සෞදි අරාබි රජයේ අවධානය යොමුව ඇති බව ද පැවසූ ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා එහිදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව නිරීක්ෂණය වී ඇති බව සඳහන් කළේය.

බටහිර ආසියාව ඇතුළු ආසියානු කලාපය තුළ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කලාපීය කටයුතු පිළිබඳවද අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය.

තවද සංචාරක සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පැහැදිළි කළ ජනාධිපතිවරයා එම ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳවද අමත්‍යවරයා දැනුවත් කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්