Presidential Secretariat of Sri Lanka

සුවසේවා විරුවන්ට Cinnamon Hotels & Resorts වෙතින් නොමිලේ නිවාඩු පැකේජයක්

කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර පිණිස Cinnamon Hotels & Resorts වෙතින් නොමිලේ නිවාඩු පැකේජයක් පිරිනැමේ.

“Cinnamon සුවවිරු ප්‍රණාම” ලෙස නම් කර ඇති පැකේජය පිළිබඳ ප්‍රකාශය John Keells Holdings සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා අද (16) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විය.

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කළ රෝහල්වල කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම් කිරීම මත  පැ‍කේජ 1000ක් පිරිනමා තිබේ.

ඔවුන්ට Cinnamon Hotels & Resorts යටතේ ඇති හෝටල් 09න් එකක සියලු පහසුකම් සහිතව රාත්‍රී දෙකක් නොමිලේ තම නිවාඩුව ගත කිරීමට අවස්ථාව හිමි වේ.

පැකේජය 2020 ජූලි 1 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා වලංගුව පවතී. Cinnamon Grand Colombo, Cinnamon Lakeside Colombo, Cinnamon Red Colombo, Cinnamon Bey Beruwala, Cinnamon Wild Yala, Cinnamon Lodge Habarana, Cinnamon Citadel Kandy, Habarana Village by Cinnamon සහ Trinco Blu by Cinnamon යන හෝටල් නවයෙන් එකක් තෝරා ගැනීමට පිළිවන.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, යුද හමුදාපති ලුතිතත් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular