Presidential Secretariat of Sri Lanka

වැඩි ලාභ ඕනෑ නම්, නිමි ද්‍රව්‍ය අපනයනය කරන්න – ජනපති ගොවීන්ට කියයි

කෘෂිභෝග අපනයනයේදී නිමි ද්‍රව්‍ය සැකසීමට ප්‍රමුඛතාව දී වැඩි ලාභ උපයා ගැනීමට උත්සාහ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගොවීන්ට කියයි.

ගම්මිරිස් ප්‍රතිඅපනයනය සම්පූර්ණයෙන් නතර කර තිබේ. එබැවින් ඇට, කුඩු හෝ වෙනත් නිමි ද්‍රව්‍යය ලෙස ඇසුරුම්කර ගම්මිරිස් අපනයනය කරන ලෙස ජනාධිපතිතුමා ගොවීන් දැනුවත් කළේය. අගය එකතු කිරීමේ ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් වැඩි විදේශ විනිමය ආදායමක් උපයාගත හැකි  බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (12) දෙවන දිනටත් මහනුවර දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් හසලක පැවති ජනහමුවලදී රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

උඩුදුම්බර හසලක නවරත්න ක්‍රිඩාංගණයේ සහ හසලක සතිපොළ භූමියේ පැවති ජනහමු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් සංවිධාන කර තිබිණ.

අතරමැදියන්ට හසු නොවී, වී අස්වැන්න  රජයේ පාලන මිලට දෙන ලෙස ජනාධිපතිතුමා ගොවීන්ට උපදෙස් දුන්නේය.

වන අලි ගම්වැදීමේ ගැටළුවට විසඳුම් දීමට රජය මේ වන විටත් පියවර ගෙන ඇතැයි ජනාධිපතිතුමා ගම්වාසීන් සමග පැවසීය.

මිනිපේ ප්‍රදේශවාසීන් මුහුණ දෙන පානීය ජල ගැටළුව කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

ගුරු හිඟය සහ අ.පො.ස උසස් පෙළ දක්වා අධ්‍යාපන පහසුකම් සහිත පාසලක් හසලක ප්‍රදේශයට නොමැතිවීමෙන් දරුවන් පත්ව සිටින අපහසුතාව පිළිබඳව ද ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ද මේ අවස්ථාවන්ට එක්ව සිටියේය.

පුවත්

Most popular