Presidential Secretariat of Sri Lanka

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැකගත යුතු බව ජනපති මහනුවරදී කියයි

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමෙන් විදේශීය සංචාරකයන් ආකර්ශනය කරගැනීමට ඇති හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

පොදුජන පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (12) දෙවන දිනටත් මහනුවර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් තෙල්දෙණිය, බස්නැවතුම පිටුපස පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට පාරම්පරික වෛද්‍යවරයෙකු ඉදිරිපත් කළ යෝජනාවලිය භාර ගනිමින් එතුමා මේ බව සඳහන් කළේය.

හසිත ඒකනායක මහතා හමුව සංවිධාන කර තිබූ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද ඊට එක්ව සිටියේය.

ස්වයං රැකියා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ග්‍රාමීය ණය ඉල්ලුම් කිරීමේදී ඇතිවන ගැටලු රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කර විසඳීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා කීය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කුණ්ඩසාලේ, මැණික්හින්න, පිටවල, සංවිධාන කර තිබූ ජන හමුවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පාතදුම්බර, යටිවාරණ විහාරස්ථානය අසළ සංවිධාන කර තිබූ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල වෙබ් අඩවිය සහ 2020 මැතිවරණ තේමා ගීතය එළිදැක්වීම ජනාධිපතිතුමා අතින්  අද දහවල් මහනුවරදී සිදු කෙරිණ. මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ අස්ගිර් පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් රැස්ව සිටී පිරිසට ආශිර්වාද කළහ.

ජනතා ගැටළු විසඳීමේදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එල්ලවන බාධා පැහැදිළි කළ ජනාධිපතිතුමා එය  නිවැරදි කිරීමට 2/3ක බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක අවශ්‍යතාව අවධාරණය කළේය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හාරිස්පත්තුව, අලවතුවල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.

ගුණතිලක රාජපක්ෂ මහතා හාරිස්පත්තුව, මැදවෙල සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී වූ අතර එතුමා ගිය මග දෙපස රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමා වෙත මහත් හරසර දැක්වුහ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගලගෙදර, හතරලියැද්ද, සතිපොළ සහ එල්.ප්‍රසන්න වීරවර්ධන මහතා හාරිස්පත්තුව, නුගවෙල 05 කණුව අසළ සංවිධාන කර තිබූ ජන හමුවලට  ද සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

පුවත්

Most popular