Presidential Secretariat of Sri Lanka

ජනපති, ජනතා ආර්ථිකය ගොඩනඟන වැඩ අරඹයි

  • රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය පැහැදිළි කෙරේ …
  • පළමු අවධානය බතික් සහ අත්යන්ත්‍ර ක්ෂේත්‍රයට …
  • බතික් කර්මාන්තය ගොඩනැගීමට සැලැස්මක් ….

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු  ජනාධිපතිතුමා විසින් පැහැදිළි කරනු ලැබීය.

කොවිඩ් 19ත් සමග දැඩි අර්බුදයකට  මුහුණ පා ඇති සෙසු රටවල් යථා තත්ත්වයට පත් වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යා නොහැකි බව ජනාධිපතිතුමා පැවසීය.

ඇඟළුම් කර්මාන්තය රටේ සමස්ත අපනයනයෙන් 43%ක් නියෝජනය කරයි. අපනයන ආදායමට වාර්ෂිකව ඉන් එක්කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 05ක් පමණ වේ. රැකියා සැපයීමේ දී සහ ප්‍රාදේශීය සංවර්ධනයේ දී  ඇඟළුම් කර්මාන්තය පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. එය ශක්තිමත් කරමින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදනය දියුණු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපතිතුමා කීය.

බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය නඟාසිටුවිමට සියලු අංශ ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. එය සාර්ථක කර ගැනීමෙන් ඉදිරි පස් වසර තුළ ඇගළුම් නිෂ්පාදකයන්ට ඉහළ ස්ථාවරත්වයක් අත්කරගත හැකි බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

“සළු සළ වැනි ආයතන මගින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදකයාට වෙළෙඳ පොළක් සකසා දිය හැකි බවද එතුමා පෙන්වා දුන්නේය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, භණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු හා බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් කර්මාන්තය ආශ්‍රිත ආයතන ප්‍රධානීහු සහ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

Most popular