Presidential Secretariat of Sri Lanka

ප්‍රවාහන සේවා සංවර්ධනය බස් රථය හෝදන තැනින් පටන් ගන්න – ප්‍රවාහන බලධාරීන්ට ජනපති කියයි.

  • මගී ප්‍රවාහනය නගාසිටුවන්න කෙටිහා දිගු කාලීන සැලැස්මක්
  • දුම්රිය බස් රිය ඒකාබද්ධ සේවා ඇරඹීමට පියවර …
  • ඒකාබද්ධ ධාවන කාලසටහන ක්‍රියාත්මක කිරීමට උපදෙස් …
  • පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය කෙටිකලකින් …
  • අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනයට සාමාන්‍ය බස් රථ …

පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගාසිටුවීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට කියා සිටී.

“ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කරන්න පිළිවන්. බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම හෙටම පටන් ගන්න”  ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

පෝස්ටර් ඇලවීම නතර කිරීමට ගත් කුඩා තීරණයෙන් රටේ සියලු නගර පවිත්‍රව තබා ගැනීමට හැකි වූ බව පෙන්වා දෙන ජනාධිපතිතුමා සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනය ඉතා කුඩා තැනකින් ඇරඹිය හැකි බව පවසයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

මෝටර් රථයෙන් පැමිණ එය නතර කොට තබා බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ ක්‍රමය (Park & drive) කඩිනමින් ක්‍රියාත්මක කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ගමනා ගමන මණ්ඩලය බස් ධාවනය සේවාවක් ලෙස පවත්වාගෙන ගියද පාඩු නොලබන ආයතනයක් විය යුතුයැයි එතුමා කීය. ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය පිළිබඳව  රජයේ සහ පෞද්ගලික දෙඅංශයම අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

“දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන නොපමාව පටන් ගන්න. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා මූලිකව විසඳුම් දිය යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම අවශ්‍යයි. ඉදිරි පස් වසර තුළ ප්‍රවාහන සේවාව නගාසිටුවීමට දිගු සහ කෙටිකාලීන සැලසුම් සකස් කළ යුතුයි. නියම කරගත් ඉලක්ක වෙත ළගා වෙනවාද යන්න විමර්ශනය කිරීම ඉතා වැදගත්” ජනාධිපතිතුමා පැවසීය.

ජනතාවට වඩා හොඳ සේවාවක් සැලසිය හැකි පරිදි දුම්රිය මැදිරි අළුත්වැඩියා කිරීමට ද තීරණය කෙරිණ. කොළඹ කොටුව සහ තවත් දුම්රිය ස්ථාන 04ක් ආදර්ශයක් ලෙස කඩිනමින් නවීකරණය කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කීය.

දුම්රිය සංඛ්‍යාව වැඩි කිරීමෙන් වැඩි පිරිසකට කැලණිය වැලි දුම්රියෙන් ගමන් කිරීමට හැකි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ගමනාගමන මණ්ඩලයට අයත් පුහුණු සහ නඩත්තු ආයතනවල සේවය පෞද්ගලික අංශයට ද විවෘත කිරීමෙන්  ලාභ ඉපැයීමට ඇති හැකියාව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් පෙන්වා දෙනු ලැබීය.

කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයටම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය කඩිනමින් හඳුන්වාදීමට තීරණය කෙරිණ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දූෂණ සහ අක්‍රමිකතාවන්ගෙන් තොර ආයතනයක් බවට පත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

හොඳ තත්ත්වයේ ඇති සාමාන්‍ය බස් රථ අධිවේගී මාර්ගයේ ධාවනයට එක් කිරීමෙන් අඩු මුදලකට මගීන් විශාල පිරිසකට ගමන් පහසුකම් සැලසීමේ හැකියාව ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ප්‍රවාහන ලේකම් එන්.බී. මොන්ටි රණතුංග යන මහත්වරු සහ ප්‍රවාහන අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ප්‍රධානීහූ, පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

Most popular