Presidential Secretariat of Sri Lanka

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවේ

  • යුදසමයේ රටට එරෙහි වූ මාධ්කණ්ඩායමක් නැවත නැගිටලා …
  • මාස 60ක ධූර කාලයේවගකීම් නොපිරිහෙළා ඉටු කරනවා
  • ඊළග ජනාධිපතිවරයා ගැන කිසිවෙකු කලබල විය යුතු නැහැ ….
  • නීති පනවා ඇත්තේ ජනතා යහපතට ….
  • දිළිඳුතම ජනයාට තවත් රැකියා ලක්ෂයක් ….
  • ජනතා ඉල්ලීම අනුව වලපනේ හා පූඩලුඔය පූර්ණ සංවර්ධනයට….

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නිදහස නොවන බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හිමියනට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කිරීමේ හැකියාවක් නැත.

තමා ජනාධිපතිවරයා ලෙස ජනමාධ්‍යයට කිසිදු බලපෑමක් කර නැති බව සඳහන් කරන ජනාධිපතිතුමා විවිධ කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත වැරදි මාධ්‍ය භාවිතයක නිරත වෙමින් රටත්, ජනතාවත් නැවත අගාධයට ඇද දැමීමට උත්සහ කළහොත් එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිලෙන්නේ නැති බව ද ජනාධිපතිතුමා පවසයි.

යුද සමයේ රටට එරෙහිව කටයුතු කළ මාධ්‍ය කණ්ඩායමක් මාධ්‍ය ආයතනවලට රිංගාගෙන දේශියත්වයට සහ ජාතික වැඩපිළිවෙළට පහර ගසමින් සිටින බව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

අද (20) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, යෝඹුවැල්තැන්න ප්‍රදේශයේ පැවති “ගම සමග පිළිසඳර” 15 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

මේ රටේ බහුතර ජනතාව එක්ව තමා ජනාධිපති ධූරයට පත් කරගත්තේ රට ගොඩනැගීමටයි. මාස 60ක් වූ ධූර කාලයෙන් ගතව ඇත්තේ මාස 16ක් පමණි. තව සැලකිය යුතු කාලයක් ඉදිරියට තිබේ. ඊළග ජනාධිපතිවරයා පිළිබඳ ඇතැම්හු කලබල වී සිටිති. කිසිවෙකු ඒ ගැන කලබල නොවිය යුතු අතර එය තීරණය කරන්නේ ජනතාවයි. ඉදිරි ධූර කාලය ජාතික ආර්ථිකය මෙන්ම ග්‍රාමීය ජනතාව නගාසිටුවීමට සුවිශාල වැඩකොටසක් ඉටු කරමින් ජනතා අපේක්ෂා මල්ඵල ගන්වන බව ජනාධිපතිතුමා පැවසීය.

නිලධාරීන්ගේ වගකීම ජනතාව ජීවත්කරවීමයි. කිසිවිටෙක ඔවුන්ට කරදර නොකළ යුතුයි. ජන ජීවිතය අඩාල කෙරෙන කිසිදු අකටයුත්තක් තමා රාජ්‍ය නිලධාරීන්ගේ අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

“මා කිසිවිටෙකත් පරිසරය විනාශ කර නැහැ. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිටින අවදියේ පටන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙනගියේ කිසිවෙකු නොකළ වැඩකොටසක්. නිදහස් චතුරශ්‍රයේ පවා එදා කුණු ගොඩවල් පිරී තිබුණා. ඒ තත්ත්වය නැති කොට කොළඹ නගරය හරිත උයනක් බවට පත් කලා. පරිසරය වෙනුවෙන් කිසිවක් නොකළ අය මට ඇගිල්ල දිගු කිරීම කණගාටුවට කරුණක්” ජනාධිපතිතුමා කීය.

පසුගිය රජයේ සිටි ජේෂ්ඨ අමාත්‍යවරයෙක් හන්තානේ අක්කර 30ක ඉඩමක් තම දියණියට තෑගි දී ඇත. පරිසරය ආරක්ෂා කළානම් අද ඔවුන්ට මාධ්‍ය ඉදිරියට පැමිණ හඩා වැටීමට සිදු නොවන බවද ජනාධිපතිතුමා කීය.

2015-2019 කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැලෑ අක්කර 77, පුත්තලම අක්කර 258, මොණරාගල අක්කර 100ක්, අනුරාධපුරයේ අක්කර 224ක් ඇතුළුව මයිලෑව, මාතලේ, ලග්ගල, රිදීගම, වැලිකන්න ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක වන විනාශය සිදු කර තිබේ. එවැනි පිරිස් අද රජයට ඇගිල්ල දිගු කිරීම හාස්‍යයට කරුණක් යයි ද ජනාධිපතිතුමා පැවසීය.

දිළිදුකම තුරන් කර ග්‍රාමීය ජනතාව ආර්ථික වශයෙන් නගා සිටූවීම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියකි. 75%ක් වන ග්‍රාමීය ජනතාවගෙන් 35% සෘජුවම කෘෂිකර්මාන්තයේ නියැලෙති.

කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය සියලු වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමින් ග්‍රාමීය ජනතාව දිළිදුබවින් මුදා ගැනීමේ වගකීම ඉටුකරන බවද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරාගත් ලක්ෂයකට රැකියා දීමේ වැඩසටහන ආරම්භ කෙරිණ. ඉන් රුකියා 35,000ක් දී දැනටමත් ප්‍රදානය කර තිබේ. රැකියා ලක්ෂයේ ප්‍රථම වැඩසටහන අවසන් වූ පසු තවත් ලක්ෂයකට රැකියා දෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ දී නිවැරැදීම පුද්ගලයන් හඳුනා ගැනීම ග්‍රාමීය රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම මහජන නියෝජිතයන්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා පැවසීය. පුහුණු ශ්‍රමිකයන් නැතිවීම රටේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදයට ඉවහල් වී තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රීකුණාමලය, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කොට විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි.

විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අපේක්ෂාවයි.

යොඹුවැල්තැන්න ග්‍රාම නිලධාරී වසම වලපනේ නගරයේ සිට කි.මි 13ක් දුරින් පිහිටා තිබේ. එය වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් අතරින් වඩාත්ම දුෂ්කර ගම්මානය වේ. ඌව වෙල්ලස්ස සටනට දායකත්වය දුන් ජනතාවක් ජීවත් වූ පෞරාණික ප්‍රදේශයක් වන යොඹුවැල්තැන්න කැප්පෙටිපොළ නිළමේතුමා යළි සිංහල හමුදාව සමග එක්වූ ප්‍රදේශය බව ජනප්‍රවාදයේ සඳහන් ය. ඖෂධීය ශාඛයක් වන යෝඹුවැල් බහුල නිසා ගමෙහි නම නිර්මාණය වූ බව කියවේ. පවුල් 139ක් වෙසෙන යෝඹුවැල්තැන්න ග්‍රාමයේ දැන් ජනගහණය 397කි. වී සහ එළවළු වගාව ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

“ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවීමට නිල්දණ්ඩාහින්න මහජන ක්‍රීඩාංගණයේ සිට යෝඹුවැල්තැන්නට යන මග දෙපස රැස්ව සිටී ජනයා විසින් ජනාධිපතිතුමා මහත් හරසින් පිළිගනු ලැබීය.

ජනතාවගේ ගැටළු පිළිබඳව එහිදී ජනාධිපතිතුමා කරුණු විමසූ අතර කලගන්වත්ත නවෝද්‍යා පාසලේ දරුවන් සමග ඡායාරූපයකට ද පෙනී සිටියේය.

දේශීයව සොසේජස් නිෂ්පාදනය කිරීමක් ජනාධිපතිතුමාට හදුන්වා දුන් ප්‍රදේශවාසියෙකු තමා එම අදහස ලබාගත්තේ වියත්මග සමුළුවකදී බව පවසමින් එහිදී ගත් ඡායාරූපයක් ජනාධිපතිතුමාට පෙන්වීය.

දීර්ඝ කාලයක් තිස්සේ වන සතුන්ගෙන් තම බෝගවලට සිදුවන හානියට පිළියමක් දෙන ලෙස ද මග දෙපස රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

SLT මොබිටෙල් ආයතනය විද්‍යාපදීප ද්විතීයික පාසලට හා සිදුහත් මහා විද්‍යාලයට පරිත්‍යාග කළ අන්තර්ජාල සබඳතා සහිත ලැප්ටොප් පරිගණක හා ඩයලොග් ආයතනය තැන්නබෝධි ප්‍රාථමික විද්‍යාලයට පිරිනැමූ රූපවාහිනි යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

“ගම සමග පිළිසඳර” වැඩසටහන පැවැත්වෙන සෑම ප්‍රදේශයකම පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය රාජපක්ෂ මැතිතුමාගේ තවත් අරමුණකි. “නැණ බල සහිත ළමා පරපුරක්” තේමා කර ගනිමින් ඒ සඳහා වූ පොත් කට්ටල ජනාධිපතිතුමා අතින් පාසල් වෙත පිරිනැමිණ. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500කි.

හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටී පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය පසුගියදා ආරම්භ කෙරිණ. අද ජනාධිපතිතුමා වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 05ක් වෙත සංකේතාත්මකව දීමනා පත්‍ර ප්‍රදානය කළේය.

ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ප්‍රධානම ගැටළුව මාර්ග, අතුරුමාර්ගවල ඇති දුෂ්කරතාවයි. ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ගල්වත්ත – යොඹුවැල්තැන්න මාර්ගය, තේරිපැහැ – මොලන්දෑව, ගලහ – දෙල්තොට සිට රිකිල්ලගස්කඩ මාර්ගය, යටිවැල්ල – මතුරට මාර්ගය, තෙරිපැහැ, නිල්දණ්ඩාහින්න ප්‍රධාන සහ අතුරු මාර්ග රැසක සංවර්ධන වැඩ කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ප්රදේශයේ ප්‍රධාන හා අතුරු මාර්ගවල පාලම් 15ක් ඉදිකිරීමට ද තීරණය විය. යෝඹුවැල්තැන්න, ලවැල්ලගොල්ල, මකුණගහපිටිය, හපුගහපිටිය, කලගන්වත්ත ඇතුළු ප්‍රදේශයේ සියලුම ප්‍රජා ජල ව්‍යාපෘති ජනතා අවශ්‍යතාවය අනුව සම්පූර්ණ කීරිමට ද තීරණය විය.

වලපනේ ජල පිරිපහදුව වැඩිදියුණු කිරීමට තීරණය කෙරිණ. දඩකැලේ, වැලිතුඩුව, පරගහලන්ද, කිරිවඩුන්න, මූකලන්, උඩකන්ද, ඇතුළු ප්‍රදේශයේ තවත් වැව් රැසක ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්නැයිද දැනුම් දුන්නේය.

ප්‍රදේශයේ විදුහල්වල ගුරු හිඟය සම්පූර්ණ කළයුතුය. කලගන්වත්ත නවෝද්‍යා ද්විතියක පාසල, අරුණෝදය හින්දු විදුහල, රන්කෙළඹූව මහා විදුහල, උඩමාදුර ශ්‍රී විද්‍යා ප්‍රදීප ද්විතික විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ පාසල් රැසක යටිතල පහසුකම් සංවර්ධනයට ද තීරණය කෙරිණ.

මඩුල්ල ද්විතික පාසල ජාතික පාසලක් බවට උසස් කිරීමට තීරණය විය.

ග්‍රාමීය ක්‍රීඩාපිටි සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එකක් බැගින් ක්‍රී පිටි සංවර්ධනයට ද උපදෙස් දෙනු ලැබිණ.

විහාරස්ථානවල පවත්වාගෙන යන දහම්පාසල් 12ක යටිතල පහසුකම් සංවර්ධනයට ද මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරිණ. මධ්‍යම පළාතේ පිරිවෙන්වල භෞතික අවශ්‍යතා සම්පූර්ණ කර දෙන ලෙස භික්ෂූන් වහන්සේ කළ ඉල්ලීමට ජනාධිපතිතුමා එකඟතාව පළ කළේය.

ග්‍රාම නිලධාරී වසම් 13ක පවතින ඉඩම් ගැටළු “ගම සමග පිළිසඳර” වැඩසටනේදී හඳුනා ගැනිණ. එම සියලු ගැටළු නිරාකරණය කොට ඔප්පු ප්‍රදානයට වහාම පියවර ගන්නයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

වන අලි ගැටළුට විසඳුම් ලෙස ප්‍රදේශයේ ඉදිකර ඇති සියලු අලි වැට ප්‍රතිසංස්කරණ කිරීමට ද තීරණය කෙරිණ.

දිස්ත්‍රිකික්යේ ඇති ෆයිනස්, ටර්පන්ටයින් පරිසරයට හානියක් බව ජනතාව පෙන්වා දෙනු ලැබිණ. එම වගා ඉවත් කොට දේශීය වන වගා ප්‍රචලිත කරන ලෙස ජනාධිපතිතුමා පරිසර බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ලෝකයේ රසවත් කෝපි අතරින් හතරවන ස්ථානය කොප්‍රියා ඇරබිකා ලක්පැරකුම් ප්‍රබේදය බව නිලධාරීහූ පෙන්වා දුන්හ. ඒ සඳහා සුදුසුම පාරිසරික හා දේශගුණික විභවතාව නුවරඑළිය දිස්ත්‍රික්කය සතුය. එම කෝපි වගාව දිස්ත්‍රික්කය පුරා ප්‍රවර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

වලපනේ, බගවංතලාව, නිල්දණ්ඩාහින්න, මතුරට, තෙරිපැහැ ප්‍රාදේශීය සහ ග්‍රාමීය රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනයට කිරීමට ද තීරණය විය.

දිස්ත්‍රික්කයේ වෛද්‍ය, හෙද සහ සුළු සේවක හිඟය පියවීමට පියවර ගෙන්නා ලෙස ද බලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණ.

රිකිල්ලගස්කඩ, වලපනේ රෝහල්වල භික්ෂු වාට්ටු දෙකක් ස්ථාපනය කිරීමට ද තීරණය විය. ප්‍රදේශයේ සියලු වතු රෝහල්වල අඩු පාඩු සොයා බලා සම්පූර්ණ කරන්නයි ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ප්‍රදේශයේ ආරක්ෂාව සහ හදිසි ආපදා තත්වයන්ට මුහුණදීමට හමුදා කඳවුරක් වලපන ප්‍රදේශයේ පිහිටුවට තීරණය කෙරිණ.

වලපනේ ප්‍රදේශයේ පොහොර මධ්‍යස්ථානයක අවශ්‍යතාවය ජනතාව පෙන්වා දුන්හ. දිස්ත්‍රික්කයේ පැවති භෝග එකතු කිරීමේ මධ්‍යස්ථාන පසුගිය රජය විසින් නොසළකා හැර තිබීම ජනතාවගේ විවේචනයට ලක් විය. භෝග එකතු කිරීමේ මධ්‍යස්ථාන දිස්ත්‍රික්කයේ සුදුසු තැන්වල ස්ථාපනය කරන ලෙස ජනාධිපතිතුමා බලාධාරීන්ට දැන්වීය.

ගොවිතැන් කළ නොහැකි පුරන් කුඹුරුවල කරුදු සහ කෝමාරිකා වගාවන් ප්‍රචලිත කිරීමට ද යෝජනා කෙරිණ.

දීර්ඝ කාලයක සිට ජනතා ඉල්ලීමක් වූ වලපනේ හා පූඩලුඔය නගර පූර්ණ සංවර්ධනයට ද තීරණ විය.

අමාත්‍ය සී.බී. රත්නායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, නිමල් පියතිස්ස, රමේෂ්වර මරුදපාණ්ඩි, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් යෝඹුවැල්තැන්න ග්‍රාමයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

 

Most popular