Presidential Secretariat of Sri Lanka

ජනපතිගේ කැබිනට් පත්‍රිකාවෙන් රණවිරුවන්ට හිමි සහන අප්‍රේල් 27 සිටම ලබාදීමට පියවර

ත්‍රස්තවාදී හේතු නිසා මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන 2021 අප්‍රේල් මස සිටම ලබාදීමට පියවර ගැනේ.

රණවිරුවන් ඔවුන්ගේ ජීවිත කැප කළේ සහ ආබාධිත තත්වයට පත්වූයේ සියලු ජාතීන්ට නිදහස් සහ නිවහල් දේශයක් උදාකර දීම වෙනුවෙනි. ඒ නිසාම රජයක වගකීම හා යුතුකම වන්නේ ඔවුන් වෙනුවෙන් සැපයිය හැකි සියලු පහසුකම් ලබාදීම බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අවධාරණය කර තිබිණ.

එය ක්‍රියාවට නංවමින් රණවිරුවන් වෙත සහන සැලසීම සඳහා වූ යෝජනා 07ක් සහිතව ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකට අප්‍රේල් 27 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි විය.

යෝජිත සහන අනුමැතිය ලද දින සිටම ගෙවීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

ඒ අනුව

 

  • ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මිය ගිය විවාහක ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන්ගේ වැන්දඹුවන් වෙත, මිය ගිය සාමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනට හිමිගන්වන ලද වැටුප් හා දීමනාවල එකතුව නොවනස්ව වැන්දඹුවන් ජීවත්ව සිටින තෙක් ගෙවීම.
  • ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මිය ගිය විවාහක/ අවිවාහක ත්‍රිවිධ හමුදා/පොලිස් සාමාජිකයන්ගේ දෙමාපියන් වෙත සාමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ දින සිට දෙමාපියන් ජීවත්ව සිටින තෙක් රුපියල් 25,000ක මාසික දීමනාවක් හිමි ගැන්වීම.
  • ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන් වෙත මේ වන විටත් ජීවිතාන්තය දක්වා ගෙවන වැටුප් හා දීමනා ඔවුන් මිය ගිය විට ඔවුන්ගේ යැපෙන්නන් වෙත ගෙවීම.
  • ත්‍රස්ත ක්‍රියා නොවන වෙනත් මෙහෙයුම් රාජකාරීවල යෙදී සිටියදීත් ආබාධිත ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන් වෙත සහ මිය ගිය සාමාජිකයන්ගේ යැපෙන්නන් වෙත අදාළ සිදුවීම් පිළිබඳව කමිටුවක් මගින් පරීක්ෂා කර බලා එම අයවලුන් සහ යැපෙන්නන් වෙතද වයස 55 සම්පූර්ණ වූ දිනට හිමි වූ වැටුප් හා දීමනා නොවෙනස්ව හිමි ගැන්වීම.
  • පැවති යුදමය වාතාවරණයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ පශ්චාත් යුද ක්‍රියාකාරකම් (පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීම වැනි ) කාර්යයක නිරත වීමේදී ආබාධිත වූ/ මිය ගිය ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන් වෙත අදාළ සිදුවීම පිළිබඳව කමිටුවක් මගින් පරීක්ෂා කර බලා එම අයවලුන් හා යැපෙන්නන් වෙත ජීවිතාන්තය දක්වා වයස 55 සම්පූර්ණ වූ දිනට හිමි වූ වැටුප් හා දිමනා නොවෙනස්ව හිමි ගැන්වීම.
  • ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන් වයස අවුරුදු 55 සම්පූර්ණවීමට පෙර මිය ගියහොත් ඔවුන් අවුරුදු 55 තෙක් ජීවත්ව සිටින්නේ යැයි සලකමින් ඒ දක්වා වැටුප් හා දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත හිමි ගැන්වීම.
  • ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිතව එම ආබාධිත බවින් ඇති වූ මානසික ව්‍යාකූලතාවයක් නිසා සියදිව නසාගත් සාමාජිකයෙකුට (වයස 55 තෙක්) අයත් වැටුප් හා දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත හිමි ගැන්වීම

පුවත්