Presidential Secretariat of Sri Lanka

“සෞභාග්‍යයේ දැක්ම” උදෙසා වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ජනතා කේන්ද්‍රීය ප්‍රකාශනය ජනපතිට පිළිගන්වයි

“සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සකස් කළ “සෞභාග්‍යයේ දැක්ම උදෙසා ජනතා කේන්ද්‍රීය ප්‍රකාශනය” අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් ප්‍රකාශනය පිළිගන්වනු ලැබිණ.

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දීම, මිත්‍රශීලි නොබැදුණු විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, දූෂණයෙන් වංචාවෙන් තොර පිරිසිදු රාජ්‍ය පාලනයක් ගොඩනැගීම, ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ඇතුළු “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු ගණනාවක් පිළිබඳ පක්ෂයේ ක්‍රියා පිළිවෙත මෙහි අන්තර්ගතය.

ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීම සඳහා දේශපාලනික, සමාජ කටයුතුවල නිරත පුද්ගලයන් ඒකරාශී කර සම්මන්ත්‍රණ 100ක් පැවැත්වීමට ද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සැලසුම් කර තිබේ.

මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී, වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

පුවත්

Most popular