Presidential Secretariat of Sri Lanka

ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රතිඥාවක්

ශ්‍රී ලාංකේය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධානම් ගෙබ්‍රීසියස් (Tedros Adhanom Ghebreyesus) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම් පිළිගන්වමින් මෙම පණිවුඩය යොමු කර ඇත.
ලංකාවට ලබාදෙන අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර බෙදා හැරීම් සිදු කෙරෙන දින සහ නාම ලේඛන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් ප්‍රසිද්ධ කරනු ඇති බව ද එම පණිවුඩයේ සඳහන් වේ.

කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික පීඩනය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නා බවත්, ගෝලීය ආහාර සහ තෙල් මිල ඉහළ යාම, අවදානමට ලක්විය හැකි ප්‍රජාවට ප්‍රධාන අභියෝගයක් බවත්, එම අභියෝග කාලසීමාවේදී ශ්‍රී ලංකාවට පහසුකම් සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් බවත් ගෙබ්‍රීසියස් මහතා සඳහන් කර ඇත.

ශ්‍රී ලාංකීය ජනතාවගේ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට “ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනට” තමා උපදෙස් දී ඇති බව සඳහන් කර ඇති අධ්‍යක්ෂ ජනරාල්වරයා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සහ අනෙකුත් අමාත්‍යාංශවල සහයෝගයෙන් අදාළ වෛද්‍ය සැපයුම් බෙදා හැරීමට කටයුතු කරන බවත් දන්වා ඇත.‍

සෞඛ්‍ය පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතුළුව ජනතාවට ඇති සෞඛ්‍ය අවදානම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සමීපව නිරීක්ෂණ කරන බවත්, ශ්‍රී ලංකාවේ පළාත් සෞඛ්‍ය සේවා ශක්තිමත් කරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන බවත් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධානම් ගෙබ්‍රීසියස් මහතා සිය සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-25

පුවත්

Most popular