Presidential Secretariat of Sri Lanka

රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණය වී තිබෙනවා

දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ජන්ම දින සැමරුම් උත්සවයේ දී ජනපති පවසයි.

රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියන් ලෙස අප ස්වඋත්සාහයෙන් නැගිසිටිය යුතු බවත් මෙවර අය වැයෙන් ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් ලලිත් ඇතුලත්මුදලි පදනම විසින් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (23) සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහලටම ඔසවා තැබීමට හැකි සංකල්පයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි විශ්වවිද්‍යාලයක් ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් ඉදිරියේදී මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.

ලලිත් ඇතුලත්මුදලි පදනමේ විශේෂ මෘදුකාංගයක් හඳුන්වාදීම ද මෙහිදී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

ලලිත් ඇතුළත්මුදලි මහතා හොඳ නීතිඥවරයෙක් වගේම හොඳ ආචාර්යවරයෙක්. මම මගේ නීතිඥ වෘත්තීයේ දිවුරුම් දෙන අවස්ථාවට හා එහි දිවුරුම් සාදයට ඇතුලත්මුදලි මහතාට ආරාධනා කළා. මම ගාමිණි දිසානායක මහතාටත් එම සාදයට ආරාධනා කළා. ඒ කාලයේ විපක්ෂ නායකවරයා ලෙස ජේ.ආර් ජයවර්ධන මහතාත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ආර්.ප්‍රේමදාස මහතාත් කටයුතු කළා.

මේ සියලු දෙනාගේ අන්තර් ක්‍රියාකාරිත්වය තුළ රටේ ඉරණමත්, එජාපයේ ඉරණමත් බොහෝ දුරට ගැටගැසී තිබුණා කියලයි මම හිතන්නේ. ලලිත්, මම වගේම ගාමිණිත් ආසාවෙන් හිටියේ එජාපය නවීකරණය වෙනවා දකින්න. මගේ පවුල ආරම්භයේ සිටම එජාප සමගයි සිටියේ.

නමුත් නූතන එක්සත් ජාතික පක්ෂයක් ලෙස මා ආකර්ෂණය වූයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට පදනම දැමූ ඩඩ්ලි සේනානායක සහ ජේ.ආර්.ජයවර්ධන එක්ව සකස් කළ කෙටුම්පතක් වූ 1963 එජාප සම්මේලනයේ කළුතර ප්‍රකාශනයටයි.

ඩී එස් සේනානායක මැතිතුමාගේ කාලයේ සිටම ධනේශ්වර ආර්ථිකයක් සඳහා පක්ෂයක් ලෙස අපට අපේක්ෂාවක් තිබුණා. අපට අවශ්‍ය වූනේ කුසගින්න නැති කිරීමට, නූගත්කම නැති කිරීමට සහ නිරෝගී ජනතාවක් බිහිකිරිමටයි.

ලලිත් සහ මම කෘත්‍යාධිකාරී මණ්ඩලයට එකම කාලයක ඇතුළු වුණා. ඒ නිසා නිතර නිතර ප්‍රචාරක ව්‍යාපාරවලට අපි එක්ව සහභාගි වුණා. 1976 පක්ෂ සම්මේලනයේදී විපක්ෂ නායක සහ එජාප නායක ජයවර්ධන මහතා විසින් සමස්ත සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත්ව නැවත ආරම්භ කළා.

මම මේ ගැන ලලිත් සමඟත්, ගාමිණී සමඟත් සාකච්ඡා කරන අතරතුර බොහෝ අධ්‍යයනයන් සිදු කළ බවත් සඳහන් කළ යුතුයි. මම අයත් වන්නේ ලිබරල් සමාජය හෝ ලිබරල් මධ්‍යස්ථානය නමින් හැඳින්වෙන වෙනත් අධ්‍යයන කඳවුරකටයි.

ලලිත්ට රටේ වැදගත්ම කොටස වන වෙළඳාම භාර දුන්නා. පසුකාලීනව එයට නාවික කටයුතු එකතු කරනු ලැබුවා. අනෙක් ප්‍රධාන ව්‍යාපෘතිය ජනාධිපතිවරයා තමාටම තබාගෙන මහ කොළඹ ආර්ථික කලාපයක් ඇති කිරීමේ පියවර තැබුවා. ඒ සඳහා මහවැලි වැඩසටහන ගාමිණී දිසානායකට බාර දුන්නා. ලලිත්ගේ රාජකාරිය වුණේ වෙළඳාමයි. එහෙම තමයි අපි පටන් ගත්තේ.

ඔහු වෙළඳාම විවෘත කළා. එදා අපි සමාජවාදී ආර්ථිකයක්. රජය හැම දෙයක්ම පාලනය කළා. ජයවර්ධන ජනාධිපතිතුමා කළේ කුමක්ද? ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස හතක් ගත්තා. එය මීගමුවෙන් ආරම්භ වී බියගමින් අවසන් වන අතර එහිදී කටුනායක සහ බියගම ආයෝජන කලාප දෙක තුළ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයේ සාමාන්‍ය නීති, ව්‍යවහාරික සහ විශේෂ සහන ලබාදී ක්‍රියාත්මක කළා.
නමුත් ඒ ප්‍රදේශවලින් පමණක් අපට අපනයනය කළ නොහැකි බව ලලිත් තේරුම් ගත්තා. රටේ ඉතුරු ටිකත් අපිට තියෙන්න ඕන. එබැවින් ආර්ථික කලාපයෙන් පිටත අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය ලලිත් ආරම්භ කළා. බුද්ධිමය දේපළ සමාගම් මෙන් ඔහු සම්මත කළ ප්‍රධාන නීති, මා මෙහි සඳහන් කිරීමට යන්නේ නැහැ. නමුත් ප්‍රවාහන හා වරාය අවශ්‍යතාවය ඔහු හඳුනාගත් තවත් ප්‍රධාන කරුණුක්.

එබැවින් ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය වන කොළඹ වරාය සංවර්ධනය කළා. කොළඹ අවට සංවර්ධනයේ විශාල ක්ෂේත්‍ර දෙකට පැමිණෙමින් සිටිනවා. එක පැත්තකින් වෙළෙඳ කේන්ද්‍රස්ථානය වූ කොළඹත්, අනෙක් පැත්තෙන් කොළඹට සම්බන්ධ වරායත්, මහ කොළඹ ආර්ථික කලාපයත්, ඉන්පසුව ග්‍රාමීය ප්‍රදේශවලටත් මේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ පැමිණියා.

මම එදා අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කරද්දී තමයි, විශ්ව විද්‍යාලයට යන්න කැමති අයට ශිෂ්‍යත්ව වැඩසටහන ලෙස ලලිත් මහපොල අදහස ගෙනාවේ. ඉතින් ඔබට මහපොළ ශිෂ්‍යත්වය හිමි වුණා. අපි ආයතන වෙනුවට නොව නිදහස් අධ්‍යාපනය සඳහා පුද්ගලයන්ට මුදල් යෙදවූ පළමු අවස්ථාව එයයි.

අවාසනාවකට, අපි එය ඉදිරියට ගෙන ගියේ නැහැ. ඒ සියලු යාන්ත්‍රණය ගැන නැවත සිතා බැලිය යුතු යැයි මම සිතනවා. අද පාඨමාලා රැකියා ඉලක්ක කර සිදු විය යුතුයි.

ඊට අමතරව විශ්වවිද්‍යාලය ඔවුන්ගේ බාහිර පාඨමාලා පවත්වාගෙන යනවා. සෑම වසරකම රජයේ සේවයේ ලක්ෂ 5ක අතිරික්තයට එක් වන 10,000ක් පමණ අමතර පිරිසක් බඳවා ගැනීමට අපට සිදු වෙනවා.
කෙසේ හෝ මහපොළ යෝජනා ක්‍රමය පටන් ගත්තා. නිදහස් අධ්‍යාපනය වඩාත් අර්ථවත් කරමින් තව දුරටත් එය පවත්වා ගෙන යා යුතුයි.

ඉන්පසුව ලලිත් කෘෂිකර්ම ඇමති ලෙස කෘෂි කර්මාන්තය නවීකරණය කිරීමට විශාල වැඩ කොටසක් සිදු කළා. අපනයන සඳහා කෘෂි කර්මාන්තය සකස් කිරීමට ද ලලිත් කටයුතු කළා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සංවර්ධනයට ඔහු විශාල දායකත්වයක් ලබාදුන්නා.

1991 දී ලලිත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙනවා. නමුත් මම එක්සත් ජාතික පක්ෂය සමඟ සිටියා. පක්ෂය වැදගත් බවත් පක්ෂය ශක්තිමත් කළ යුතු බව මම හිතුවා. ලලිත් හිතුවේ වෙනසක් සිදු විය යුතු බවත් ඒ සඳහා තමන් පිටතට යා යුතු බවයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් ආනතියක් ගත්තා. 1993 වන විට ලලිත් ඝාතනය වුණා. ඒක රටට විශාල පාඩුවක් වුණා. සතියක් ඇතුළත ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වුණා. ඊළඟ අවුරුද්ද අවසන් වන විට ගාමිණී හිටියෙත් නෑ.

එබැවින් සංවර්ධනයේ නියමුවන්, රට හැඩගස්වා ගැනීමට සිටි මිනිසුන් අපෙන් වෙන් වුණා. එවිට අපට නව අදියරක් දෙස බැලීමට සිදු වුණා. ඒ වන විට ලෝකය ද වෙනස් වෙමින් තිබුණා. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සමස්ත සංකල්පය තවත් බොහෝ ඉදිරියට ගොස් තිබුණා. එය එදා හැඳින්වූයේ අද අප හඳුන්වන්නේ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ලෙසයි.

මම ජනාධිපති වුණ මේ මොහොතේ එදා ලලිත්ගේ උපදෙස් ඉතා වැදගත් වෙනවා. අපනයනය වැඩි කර නොගතහොත් අප විනාශ විය හැකියි. ඒ නිසා අපනයන ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි.
ආර්ථිකය ගෝලීය වශයෙන් තරඟකාරී විය යුතුයි. එවිට අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් සකස් කළ හැකියි.

අද දේශගුණික විපර්යාස සහ පරිසර හිතකාමී, හරිත නීල ආර්ථිකය, එදා දිවංගත මංගල සමරවීර මහතා අපට දුන් සංකල්පයක්. ලලිත් අඩිතාලම දැමූ දේත් එයයි.

අප ඩිජිටල් ආර්ථිකයට යා යුතුයි. අපනයනය ඉලක්ක කරගත්, පරිසර හිතකාමී සමාජ ආරක්ෂණයක් ඇති ඉහළ තරඟකාරී ආර්ථිකයක් වන අතර නීල හරිත ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි.

දැන් අපි ඉදිරියට යා යුතුයි. අපිට තවත් හිඟා කන්න බෑ.. අපි අපේ දෙපයින් හිටගන්න ඉගෙන ගන්න ඕන. 1991 ඉන්දියාව වැටෙද්දී මම ඒ කාලේ කර්මාන්ත ඇමැති වෙලා හිටියා. ඒ අය තනියම ගොඩ එන්න තීරණය කළා.

සංස්කෘතික විප්ලවයෙන් චීනය විනාශ වූ අතර නායකයා එය ගොඩ නඟන්න තීරණය කළා. පරමාණු බෝම්බයෙන් යුද්ධයෙන් විනාශ වූ ජර්මනිය ඔවුන් විසින්ම ගොඩ ගන්න තීරණය කළා.

එබැවින් අප දැන් අපගේම උත්සාහයෙන් වෙනත් මාර්ගයකින් සංවර්ධනය ආපසු ලබා ගැනීම සිදු කළ යුතුයි. අපට එය කළ හැකියි. ඒ සඳහා අප ඉහළ ඉලක්කයක් තැබිය යුතුයි. අපිට පහත් ඉලක්ක කරන්න බැරි ඒ සඳහා අපි අවුරුදු 25 ක වැඩසටහනක් ඉලක්ක කරනවා. එය අවසන් වන විට අපගෙන් බොහෝ දෙනෙක් මෙහි සිටින එකක් නැහැ. නමුත් 1948 පටන් ගන්නකොට නිදහසට අවුරුදු 100යි. මම ඉපදුණේ 49දී. එදා අපි ජපානයට පමණයි දෙවැනිව සිටියේ. අද අපි ඉන්නේ ඇෆ්ගනිස්ථානයට උඩින්.

විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක්, ඉහළ තරගකාරීත්වයක් එක රැයකින් එන්නේ නැහැ. වසර පහක කාලයක් තුළ ක්‍රමානුකූලව අපගේ තරඟකාරිත්වය ගොඩ නැංවෙනු ඇත. වසර පහෙන් පසු 7%ක වර්ධනයක් පවත්වා ගැනීමට අප ඉලක්ක කළ යුතුයි. එය කළ හැකියි. ජාත්‍යන්තර වෙළඳාම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 100 හෝ ඊට වැඩි විය යුතුයි. අපි එය එක රැයකින් නොව, නිශ්චිත කාලයක් ඇතුළත කළ යුතුයි.

අපි අනාගතය දෙස බලන විට, විශාලතම නව සංවර්ධනය ලෙස තිබෙන්නේ ප්‍රතිඅපනයන කේන්ද්‍රයක් ලෙස කොළඹ වරාය ප්‍රවර්ධනය කිරීමයි. අපිට දැන් දකුණු වරාය නුදුරේදීම ලැබේවි. නැගෙනහිර පර්යන්තයටත් ආයෝජනයන් නුදුරේම ලැබේවි. එය සම්පූර්ණ වන විට අපේ ඊළඟ ඉලක්කය වනුයේ වරායේ උතුරු කොටස සංවර්ධනය කිරීමයි.

එය විශාලතම වරාය බවට පත් කිරීම සඳහා ජා ඇල දක්වා පුළුල් වෙයි. ජා ඇල සිට ගුවන් තොටුපළට සැතපුම් පහක් දුරින්, ඔබට ස්වභාවිකවම එයාර් සී හබ් එකක් ලැබේවි.ඉන්දියන් සාගරයේ නැඟෙනහිර දෙසින් පිහිටි අප්‍රිකාවට සහ ත්‍රිකුණාමලයට ළඟා විය හැකි තවත් වරායක් හම්බන්තොට. අපි දැන් එතනයි ඉන්නේ . එය පටන් ගත්තේ ලලිත් ඇතුලත්මුදලියි. දෙවනුව කෘෂිකර්මාන්තය නවීකරණය කළ යුතුයි. වී වගාව අපේ ග්‍රාමීය ප්‍ර දේශ සංවර්ධනය කරා ගෙන යයි.

විශාල ග්‍රාමීය ප්‍රදේශවලට අපගේ වී නිෂ්පාදනය ඉහළ නැංවීමට උපකාර වනු ඇති. අපට අපනයන සඳහා විශාල වෙළෙඳපොළක් තිබෙනවා. මැදපෙරදිග. සිංගප්පූරුව, සහ වෙනත් බොහෝ වර්ධනය වන වෙළඳපොළවලට ආහාර අවශ්‍ය වෙනවා.

නැගෙනහිර අප්‍රිකාවේ සහ දකුණු අප්‍රිකාවේ ඇති මිලියන සිය ගණනක් හැරුණම 2050 වන විට සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව දක්වා අවම වශයෙන් මිලියන 500 ක ජනතාවක් සිටීවි. ඔබේ ආහාර සඳහා විශාල වෙළඳපොලක් එහි නිර්මාණය වෙනවා.

බංගලාදේශයේ, මියන්මාරයේ සහ ඉන්දියාවේ වුවද අඩු වැටුප් ආර්ථිකයන් බලාපොරොත්තු වන නිසා නිසා අපි ඉහළ නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරියට පිම්මක් තැබිය යුතුයි. අපගේ සංචාරක කර්මාන්තය දැන් ඉහළ මට්ටමේ සංචාරක ව්‍යාපාරයක් වෙත නැවත නැඹුරු විය යුතුයි..

අපි බලමු කොහොමද මේ සමාජය හදන්නේ කියලා. මෙම සංවර්ධනය ලලිත්, ගාමිණී, ප්‍රේමදාස, ජයවර්ධන අපි හැමෝම ආරම්භ කළත් යුද්ධය නිසා එය අඩාල වුණා. දැන් නම් මම හිතන්නේ නෑ මේ රටේ යුද්ධයක් ඇති වෙයි කියලා. නමුත් එහි ප්‍රතිවිපාක ඇත්ත වශයෙන්ම නිවැරදි කළ යුතුයි. ඉදිරි සතියේදී අයවැය විවාදය අවසන් වූ පසු අපි තීරණය කළා පක්‍ෂ නායකයින් සහ කථානායකවරයා හමුවී රජය සමඟ පවතින ගැටලු විසඳා ගන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට.

කෙසේ හෝ වේවා ලලිත් ගත් තීරණවලට පින්සිදු වෙන්න අද උපාධිය ගත් මිනිසුන් ගොඩක් ඉන්නවා. අපි ඔක්කොටම එකතු වෙලා වැඩ කරමු. අපි හොඳ විශ්ව විද්‍යාල වගේම හොඳ ලංකාවක් වෙනුවෙන්, උපාධිය ගන්න අය, පෝස්ට් දාන අය යන දෙගොල්ලොම එකට වැඩ කරමු.

ජන්ම දින සැමරුම ඇමතූ ලලිත් ඇතුලත්මුදලි පදනමේ සභාපති, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිහිපත් කර සිටියේ ලලිත් ඇතුලත් මුදලි මහතා ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය හදුන්වා දුන් බවයි.

එතුමා ජීවත්ව සිටියා නම් එම ක්‍රමය තවත් විධිමත් කර ඉදිරියට ගෙන යනු ඇති බව සඳහන් කළ රවී කරුණානායක මහතා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දැයේ දරුවන්ගේ අධ්‍යාපන මං පෙත් විවර කළ බව ද පැවසීය.

මහපොළ ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලැබූ දරුවන් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකර ඇති බව ද පෙන්වා දුන් ඒ මහතා අද විවෘත කළ මෘදුකාංගය මහපොළ ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලබාගත් සිසුන් විසින් නිර්මාණය කළ මෘදුකාංගයක් බව ද සඳහන් කළේය.

ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි ස්වාමීන් වහන්සේ, නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමීන්වහන්සේ, සේදවත්ත මංගලාරාමාධිපති පූජ්‍ය අඹන්වල ඥානාලෝක ස්වාමීන් වහන්සේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, වරාය හා නාවුක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර, රවුෆ් හකීම්, අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා මෙන්ම හිටපු කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බන්ඩාර, එජාප හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

Most popular