Presidential Secretariat of Sri Lanka

ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත්ව

ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර අභිමානවත්ව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධාන කරන රණවිරු සැමරුම් උත්සවය මැයි 19 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වේ.

හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හා කථානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවත්වෙන මෙම රණවිරු සැමරුම් උළෙලට යුද්ධයේදී තුවාල ලැබූ රණවිරුවන්, දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් සහ පාසැල් ශිෂ්‍යභට කණ්ඩායම් ද සහභාගී කරවා ගැනීමට නියමිතය.

අභිමානවත් රණවිරු සැමරුම් උළෙලක් මෙවර සංවිධානය කර තිබෙන බවත්, රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමට සිය ජීවිත පරිත්‍යාග කළ යුධ, ගුවන් හා නාවික හමුදාවන්හි, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ විරෝදාර රණවිරුවන්ගේ සදාතනික මතකයන් හා වීරත්වය ඇගයීම සඳහා විශේෂ රණබෙර වාදනයක් සහ පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදු කෙරෙන බවත් අරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

Most popular