Presidential Secretariat of Sri Lanka

ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා

ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පැවසීය.

ජනතාවට සහන ලබා දීම පමණක් නොව සහන ලබා දෙන්නේ කෙසේද යන්නත් පෙන්වා දී තිබෙන මෙවර අයවැය නිසැකයෙන්ම වැඩි ඡන්දයෙන් සම්මත වන බවද ඒ මහතා අවධාරණය කළේය.

නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ‍මෙසේද පැවසීය,

රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය ගනු ලැ‍බූ ජනප්‍රිය නොවන මෙන්ම දේශපාලනික නොවන තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රට ස්ථාවරත්වයට ගෙන ඒමට හැකි වී තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය නුදුරේදීම ලැබීමට නියමිතයි. ජනතාවට සහන නොලැබෙයි කියා සිතූ විපක්ෂයේ සිහින බොඳ කරන්නට මෙවර අයවැය සමත් වී තිබෙනවා.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් මෙන්ම වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. කඳුරට ජනතාවට මෙන්ම ගොවි ජනතාවට සින්නක්කර ඉඩම් ලබා දීම , මුඩු බිම් කෘෂි කාර්මික කටයුතු සඳහා නිදහස් කිරීම වගේම උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහාද දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් මෙවර අයවැයට ඇතුළත් වෙනවා. විශේෂයෙන් නව ලොවට ගැළපෙන වෘත්තිකයන් බිහි කිරීමේ සැලසුම් ඊට ඇතුළත් බව කිවයුතුයි. සහනවලින් පමණක් රටක් දියුණු කළ නොහැකියි. ඒ සඳහා දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් ද අවශ්‍යයි. වසර 2034 වන විට ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ඉහළ නැංවීමත් මෙම දිගු කාලීන වැඩ පිළිවෙලට ඇතුළත් වෙනවා. ඒ වගේම සෘජු බදු වැඩි කර ගැනීමට අවශ්‍ය සැලසුම් මෙවර අයවැය හරහා යෝජනා කර තිබෙනවා.

විපක්ෂය බලාපොරොත්තු වූයේ ජනතාව කබලෙන් ලිපට වැටීම වුවත් සහන දෙනවා කියන කාරණයට එහා ගොස් මෙවර අයවැය මඟින් ජනතාවට සහන දෙන්නේ කෙසේද යන කාරණය පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මෙවර අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වන බවට කිසිම සැකයක් නැහැ. එබැවින් පෞද්ගලික දේශපාලන මති මතාන්තර කෙසේ වෙතත් රටේ ස්ථාවරත්වය වෙනුවෙන් ආණ්ඩුවත් සමඟ එක්ව රට ජයග්‍රාහී මාවතෙහි ඉදිරියට යාමට එක්වන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වුණා. පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මම මෙම යෝජනාව ඉදිරිපත් කළේ කාන්තා නියෝජනය ඒ ආකාරයෙන්ම තිබියදීයි. මේ සම්බන්ධයෙන් මට විරුද්ධව විපක්ෂයේ කොටස් දැඩි විවේචන එල්ල කර සිටියා. ඒ චෝදනා අවලාද මැද වුවත් අඛණ්ඩ කැප කිරීම් මැද අපට එය සම්මත කර ගැනීමට හැකි වුණා.

නමුත් තරුණ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන විපක්ෂය උත්සාහ කළේ එම පනත සම්මත වීම කල් දැමීමටයි. ඔවුන් එය අයවැයට පසුව ගෙන එන්නට දැඩි උත්සාහයක් ගත්තා. එසේ වූවා නම් එය ඊළඟ වසර දක්වා කල් යනවා. විපක්ෂය කියන ආකාරයට ඔවුන් ඇත්තටම තරුණ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිනවාද කියන ප්‍රශ්නය මෙහිදී මතු වෙනවා. කෙසේ වෙතත් නැති වී ගිය තරුණ නියෝජනය නැවත ගෙන ඒමට හැකි වීමෙන් රටේ සාමාන්‍ය ජනතාව අතර තරුණයින්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව හිමි කර දීමට හැකි වීම ගැන සතුටු වෙනවා.

ලබන වසර මැතිවරණ වසරක් ලෙස ජනාධිපතිතුමා සඳහන් කර තිබෙනවා. මැතිවරණ සඳහා මුදල් නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබෙනවා. නමුත් ආර්ථික ස්ථාවරත්වය සමඟ මැතිවරණ පැවැත්විය හැකි වාතාවරණයක් නිර්මාණය වන බව විශ්වාසයි. ඒ අනුව මැතිවරණ කොමිසම විසින් අදාළ මැතිවරණ නියමිත වෙලාවට පවත්වනු ඇතියි.

ඒ වගේම ඩොලරයේ මිල ඉහළ යාමත් සමඟ බඩු මිල වැඩි වුනත් මේ වන විට එහි යම් පාලනයක් සිදුව තිබෙනවා. නමුත් භාණ්ඩ හා සේවා ආශ්‍රිත අනීතික මිල වැඩි කිරීම් පිළිබඳවත් ඩොලරයේ අගය අඩු වීමේ වාසිය ජනතාවට ලැබෙනවාද යන්න පිළිබඳවත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

ඊට අමතරව LGBTQ+ ප්‍රජාවේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් මා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊළඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව ඊටද දෙවැනි වර කියවීම සඳහා දිනයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා.

පුවත්