Presidential Secretariat of Sri Lanka

බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමට බලශක්ති පරිවර්තන නීතියක් සහ බහු නියෝජිත කමිටුවක්

  • අතීතයේදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ ධාන්‍ය අපනයනකරුවෙකු වූ අයුරින් ඉදිරියේදී බලශක්ති අපනයනකරුවෙකු බවට පත් විය යුතුයි – ජනපති 2023 ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණය අමතමින් පවසයි.
  • ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම ජනපතිට පිළිගන්වයි.

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී සහ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අති නවීන හරිත බලශක්තිය උපරිමයෙන් දායක කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ආර්ථික සාධක සහ දිගු කාලීන බලපෑම් සැලකිල්ලට ගනිමින් පුළුල් දැක්මකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට මඟ පෙන්වීම සඳහා බලශක්ති පරිවර්තන නීතියක් සහ බහු නියෝජිත කමිටුවක් පිහිටුවීමටද යෝජනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (21) කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී ආරම්භ වූ 2023 ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහයෝගීතාවයෙන් “ග්‍රීන්ස්ටැට්” හරිත බලශක්ති සමාගම සමඟ එක්ව මෙය සංවිධානය කර තිබිණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

මෙම මාර්ග සිතියම ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) සහ ග්‍රීන්ස්ටැට් හයිඩ්‍රජන් ඉන්දියා සමාගම අතර සිදුකරන ලද සහයෝගීතා ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වන අතර, ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ බලශක්ති පරිවර්තනයේ මාවත සකස් කිරීම වෙනුවෙන් මෙය ඉදිරිපත් කර තිබේ.

2023 වසර සඳහා වන එක්සත් ජාතීන්ගේ විමෝචන වාර්තාව උපුටා දක්වමින් සංවර්ධිත රටවල් විමෝචනය අවම කිරීම සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී කණගාටුව පළ කළ ජනාධිපතිවරයා මෙම සියවස අවසන් වන විට ගෝලීය උෂ්ණත්වය අංශක 3කින් ඉහළ යා හැකි බව ද පෙන්වා දුන්නේය.

ඒ අනුව වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අංශක 1.5 දක්වා සීමා කිරීමේ ඉලක්කයක් සහිතව දේශගුණික විපර්යාස සඳහා කඩිනමින් පිළියම් යෙදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2030 වන විට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අංශක 1.5 දක්වා සීමා කිරීමේ ඉලක්කය වෙනුවෙන් පෙනී සිටීම හා ඒ සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම මෙම මස අවසානයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී (COP28) ප්‍රදර්ශනය කරන බවද ජනාධිපතිවරයා පැවසීය. වඩාත් කාර්මිකරණය වූ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පරිසර දූෂණ මට්ටම අඩු වූවද එය නොසලකා හරිමින් ඒ වෙනුවෙන් පෙනී සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

2030 වන විට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව තුන් ගුණයකින් ඉහළ නංවා ගැනීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් සිදු කර ඇති ඉල්ලීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව හරිත බලශක්ති අපනයනකරුවෙකු බවට පරිවර්තනය කිරීමට මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ සූර්ය බලශක්තිය සහ සුළං බලය උත්පාදනය සඳහා පවතින ඉහළ විභවතාව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා අතීතයේදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ ධාන්‍ය අපනයනකරුවෙකු වූ අයුරින් ඉදිරියේදී බලශක්ති අපනයනකරුවෙකු බවට පත් විය යුතු බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව බලශක්තියෙන් ස්වාධීන කිරීමට මෙන්ම හරිත හයිඩ්‍රජන් සැපයීම සම්බන්ධයෙන් කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පවතින ආර්ථික අභියෝග හමුවේ වූවද, තිරසාර සහ දිගුකාලීන ප්‍රතිලාභ සහතික කිරීම සඳහා බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් පරිපූර්ණ සමාලෝචනයක් සිදුකිරීමේ වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එවකට පැවති ආර්ථික තත්ත්වය පිළිබඳ සිදු කළ සලකා බැලීම් සහ ජපානයේ සහය ඇතිව වඩාත් නවීන තාක්ෂණයෙන් යුතු ව්‍යාපෘතියකට එළැඹීම වෙනුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමට එදා අග්‍රාමාත්‍යවරයා ලෙස තමා ගත් තීන්දුව පිළිබඳව ද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ හේතුවෙන් තමාට දැඩි විරෝධතාවකට මුහුණදීමට සිදුවු ආකාරය ද සිහිපත් කළේය.

නමුත් මේ වන විට නොරොච්චෝලේ බලාගාරය රටට අභියෝගයක් වී ඇති බවත්, වර්තමානයේ මෙම බලාගාරය සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය එහි ඉදිරි ප්‍රයෝජන සහ අනාගත භූමිකාව පිළිබඳ නැවත තක්සේරුවක් කිරීමට පොළඹවා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සුළං බලශක්තිය වැනි තිරසාර බලශක්ති ප්‍රභවයන් නොසළකා හැර කටයුතු කිරීම පිළිබඳව සිය නොසතුට පළ කළ ජනාධිපතිවරයා බලශක්ති කළමනාකරණයේ දුර්වලතාවයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළේය. ඒ අනුව දිගුකාලීන බලශක්ති උත්පාදන සැලැස්ම පිළිබඳ සවිස්තරාත්මක දැක්මක් හා නැවත ඇගයීමක් සිදුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

හරිත බලශක්තිය සඳහා ශ්‍රී ලංකාවේ නොසැලෙන කැපවීම යළි තහවුරු කළ ජනාධිතිවරයා මෙහි ඉදිරි ගමන පිළිබඳව රජයට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස ද විශේෂඥයන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග්, ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස් දැක්වූ අතර හරිත හයිඩ්‍රජන් පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම සහ ඒ උදෙසා ගෙන ඇති පියවර අගය කළ ඔව්හු එම අරමුණු ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කළහ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සුරත් ඕවිටිගම යන මහත්ම මහත්මීන් ද, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ (PDASL) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) මෙන්ම “ග්‍රීන්ස්ටැට්” හරිත බලශක්ති සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්