Presidential Secretariat of Sri Lanka

මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමිකරගත් අකිලා තිරුනායක මහත්මිය ජනපති හමු වෙයි

  • ජනපති සහ උතුරේ තල් කර්මාන්තකරුවන් අතර හමුවක් – තල් කර්මාන්තය ආශ්‍රිත ගැටලු විසඳීමට ජනපතිගෙන් කමිටුවක්.
  • උතුරු පළාත් නීතිඥ සංගමය ද ජනපති හමුවී සාකච්ඡා කරයි.

ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට සූදානම් – යාපනයේ එජාප ක්‍රියාකාරීන් සමඟ පැවති හමුවේදී ජනපති අවධාරණය කරයි.

පිලිපීනයේ පසුගියදා පැවති ජාතික මාස්ටර් සහ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක් ද, මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද හිමි කර ගත් මුලතිව්, මුල්ලියාවලෙයි හි පදිංචි අකිලා තිරුනායක මහත්මිය ඊයේ (06) උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

72 වියෙහි පසුවන විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වන ඇය පාසල් වියේ සිටම මලල ක්‍රීඩාවට දක්ෂතා දක්වා ඇති අතර මෙරට නියෝජනය කරමින් තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දියාව යන රටවල පැවති ප්‍රවීණයන්ගේ තරගාවලි කිහිපයකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන ඇත.
අකිලා තිරුනායක මහත්මියගේ ක්‍රීඩා කටයුතු පිළිබඳ විමසමින් සුහද පිළිසඳරක නිරතවූ ජනාධිපතිවරයා ඇය දිරිගැන්වීමක් ලෙස තිළිණපතක් ද ප්‍රදානය කළේය.
එසේම ඇයගේ ධෛර්යවන්ත ක්‍රීඩා දිවිය අගය කළ ජනාධිපතිවරයා ඉදිරි කටයුතු වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන් අතර හමුවක් අද (07) යාපනය, වාලම්පුරි හෝටලයේ දී පැවැත්විණි.

රටේ ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.

ලංකාවේ ද්‍රවිඩ ශිෂ්ඨාචාරය උතුරු පළාත බවත් හින්දු ආගමේ මධ්‍යස්ථානය යාපනය බවත් පැවසූ ජනාධිපතිවරයා උතුරු පළාතේ වැදගත්කම එලෙසම පවත්වා ගනිමින් රටේ ජාතික ආර්ථිකයට උතුරේ ආර්ථිකය කඩිනමින් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

උතුරේ සීග්‍ර ආර්ථික සංවර්ධනය සමඟ නව රැකියා අවස්ථා මෙන්ම, නව ආයෝජන අවස්ථා රැසක්ද ඉදිරියේදී බිහිවනු ඇති බවත් උතුර සංවර්ධනය කර රටම දියුණු කිරීමට උතුරේ සියලු මහජන නියෝජිතයන්ගේ සහය අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

යාපනය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් මෙම හමුව සංවිධානය කර තිබිණි. පාක්ෂිකයන් 600ක පමණ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ඔවුන් මුහුණදී සිටින ගැටලු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඍජුව ඉදිරිපත් කෙරිණි.

උතුරු පළාතේ තරුණයකු වන කේ. රවි විසින් අඳින ලද ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් සිතුවමක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය .

මෙම හමුව සංවිධානය කිරීම පිළිබඳ විජයකලා මහේෂ්වරන් මහත්මියට ස්තුතිවන්ත වෙනවා. උතුරු පළාතේ ගැටලු අතරින් ඉඩම් ප්‍රශ්නය, අතුරුදහන් වූවන් පිළිබඳ ප්‍රශ්නය ප්‍රමුඛතාවක් ගෙන තිබුණා. ආණ්ඩුවක් ලෙස එම ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට මේ වන විටත් සැලසුම් කර තිබෙනවා.

උතුරේ ඉඩම් ප්‍රශ්නය සහ අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළුවට 2025 අවසන් වීමට පෙර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවතැන් වූවන් සඳහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරනවා. උතුරු පළාතේ සුළං සහ සූර්ය බලය යන බල ශක්ති සඳහා තිබෙන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් අපනයන බලශක්තියක් කරා බලශක්ති නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. හරිත හයිඩ්‍රජන් හරිත ඇමෝනියා නිෂ්පාදනය කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා.

උතුරු පළාතේ තිබෙන සරු ගොවිබිම්වලට නවීන තාක්ෂණය එකතුකර අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඉදිරි දශකය තුළ ලෝකයේ ජනගහනය දෙගුණයක් බවට පත්වීමත් සමඟ ඔවුන්ට ද අවශ්‍ය ආහාර නිපදවීම හරහා අපනයන කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමටත් අවධානය යොමු කර තිබෙනවා.

ඒ වගේම යාපනය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. යාපනයේ පවත්වන වේල් පෙරහැර ලෝකයේ හින්දු බැතිමතුන්ට නැරඹීමට අවස්ථාව ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසමින් තිබෙනවා. අගෝස්තු මාසයේ ඇසළ පෙරහැර, කතරගම පෙරහැර වගේම යාපනයේ වේල් පෙරහැරත් සංචාරක ආකර්ශනයට ලක් කිරීමට ඒ අනුව සැලසුම් සහගතව කටයුතු කරනවා.

උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය දියුණු කිරීමේ නව ආයෝජන අවස්ථා වෙනුවෙන් ඩයස්පෝරාවට අවස්ථාව ලබාදීමටත් කටයුතු කරනවා. මෙවැනි නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග උතුරු පළාතේ නව රැකියා අවස්ථා මෙන්ම ආයෝජන අවස්ථා ද ඇතිවෙනවා. මේ අනුව උතුරේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාවන අතර එමඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ද උසස් කිරීමට හැකියාව ලැබෙනවා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ගැනීමට සිදුවන තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් රටේ ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට මම කටයුතු කරනවා. අපි සියලු දෙනා එකතුව උතුරු පළාත සංවර්ධනය කර රටම දියුණු කරමු.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් රජිත කීර්ති තෙන්නකෝන්, චුන්නාකම් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරේෂ් කුමාර් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු පළාතේ තල් කර්මාන්තකරුවන් අතර හමුවක් ද යාපනය, තන්දෙයි චෙලවා ශ්‍රවණාගාරයේ අද(07) පැවැත්විණි.
උතුරේ තිබෙන සමාජ ප්‍රශ්න හා තල් කර්මාන්තයේ ප්‍රශ්න සොයා බැලීම සඳහා කමිටු දෙකක් පත් කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

අදාළ කමිටු වාර්තාව ලැබීමෙන් පසුව උතුරේ තල් කර්මාන්තය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

උතුරේ සැමදෙනාටම සම අයිතිවාසිකම් තිබිය යුතු බවත් ඒ වෙනුවෙන් තමා පෙනී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පොරොන්දු දේශපාලනයෙන් පළක් නොවන අතර ගැටළු නිසිලෙස හඳුනාගෙන ඊට විසදුම් ලබාදීමෙන් සියලුදෙනාට යහපතක් සැලසෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ තල් ආශ්‍රිත කර්මාන්තයේ නිරතවන කර්මාන්තකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු පළාතේ නීතිඥ සංගමය හා ව්‍යාපාරිකයන් අතර හමුවක් ද උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී ඊයේ (06) රාත්‍රියේ පැවැත්විණි.

නීති ක්ෂේත්‍රයට අදාළව උතුරු පළාතේ පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

පුවත්

Most popular