Presidential Secretariat of Sri Lanka

රාජ්‍ය පාලනයේදී විවිධ ස්වරූපයෙන් මතු වන අදිසි හස්ථයන් පිළිබදව අවධානයෙන් සිටිය යුතුයි

මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමියෝ ජනපතිට පවසති.

ඔබතුමා යන ගමන උඩුගංබලා පිහිනීමක්.

පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කරති.

මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ගෙන් ජනපතිට ආශිර්වාද …

 අද (11) පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මහානායක ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව එතුමා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.අනුනාහිමියෝ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ කෙරෙහි සිය ප්‍රසාදය පළ කළහ.

ඉදිරියේදී විවිධ ස්වරූපයෙන් මතු විය හැකි අදිසි හස්ථයන් පිළිබඳ අවධානයෙන් ක්‍රියා කළයුතුව ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා  අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විමසිය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද , ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට සෙත් පැතූහ.

රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේ වැඩවෙසෙන මහනුවර, මැණික්හින්න, හුරිකඩුව ශ‍්‍රී විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයට දගිය ජනාධිපතිතුමා උන්වහන්සේගේ  සුව දුක් විමසීය.

රට ජාතිය වෙනුවෙන් ජනාධිපතිතුමා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගියහොත් රටේ ඓතිහාසික මෙහෙවරක් කළ ජනාධිපතිවරයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිසැකවම ජනතා ප්‍රසාදයට පාත්‍ර වනු ඇතැයි නාපාන පේමසිරි හිමිපාණෝ සඳහන් කළහ.

විරෝධතාවක නිරත වෙමින් ජනාධිපති කාර්යාලයට පැමිණි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ක්‍රියා කළ ආකාරය භික්ෂුන්වහන්සේගේ පැසසුමට ලක් විය.

අස්ගිරි මහා විහාර පිරිවෙන වෙත ගිය ජනාධිපතිතුමා පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ බැහැ දැක පිළිසඳරක නිරත විය.

රට දැන් පත්ව ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අපේක්ෂා දනවන්නකි. ඒ සදහා ජනාධිපතිතුමා සතුව මහත් ශක්තියක් ඇත. මේ ගමන උඩුගංබලා පිහිනීමක් වනු ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

තමා එය මනාව අවබෝධ කරගෙන ඇතැයි ද ජනාධිපතිතුමා පිළිතුරු වශයෙන් කීය.

දෙස් විදසේ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් පිරිවෙනෙහි ඉංග්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙයි. ඒ සඳහා අවශ්‍ය සියලු පොත් පත් සපයන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. සෙසු අඩු පාඩු පිළිබඳව ද එතුමා  විමසා බැලීය.

අද පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.

ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ කෙරෙහි මහා සංඝරත්නය තුළ විශාල පැහැදීමක් ඇති බව උන්වහන්සේ ද සඳහන් කළහ. රටේ නීති පද්ධතියේ වෙනසක් විය යුතු බව උන්වහන්සේ කියා සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් උද්ගත වූ අහිතකර තත්ත්වය පැහැදිළි කළ පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ එය කඩිනමින් වෙනස් කළයුතුව ඇතැයි සඳහන් කළහ.

උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත ශාසනික සංදේශයක් ද භාර දුන්හ. මහනුවර දිස්ත්‍රික්කයේ විද්වත් සංසදයේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිතුමා වෙත යෝජනාවලියක් පිළිගැන්වීම ද මෙහිදි සිදු විය.

ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, එස්.බී. දිසානායක, ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, ආනන්ද අලුත්ගමගේ, අනුරාධ ජයරත්න යන මැති ඇමතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පුවත්

Most popular