Presidential Secretariat of Sri Lanka

ගම්මිරිස් අපනයනය ප්‍රවර්ධනයට සැලසුම් – ජනපති රත්නපුරයේ දී පැහැදිළි කරයි

      “තවත් ජනතා ගැටළු රැසක් විමසුමට …

        මත් උවදුර, පානීය සහ වගා ජල හිඟය, ඉඩම් ප්‍රශ්න ඒ අතර  …

ප්‍රමුඛ අපනයන බෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

ශ්‍රි ලංකාවේ සහ වෙනත් රටවල ගම්මිරිස් ඵලදාව මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරු ඉන්දියාවයි. ඉන්දියාව මිලට ගැනීම් කරනුයේ සලාක ක්‍රමයකට අනුවය. ශ්‍රී ලංකාවට දී ඇති සලාකය වැඩි කර ගැනීම සැලැස්මේ ප්‍රධාන අංගයකි. ඊට අමතරව දේශීය ගම්මිරිස් සඳහා නව වෙළෙඳපොළ සොයා ගැනීමට පියවර ගැනේ. නිමි නිෂ්පාදන ලෙස ගම්මිරිස් අපනයනට ගොවීන් උනන්දු කරවනු ලැබේ.  ඇසුරුම් ලෙස (පැකට්) ගම්මිරිස් අපනයනයෙන් සහ ගම්මිරිස් ආශ්‍රිත නව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වාදීමෙන් වැඩි ආදායමක් උපයාගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (19) රත්නපුර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට ගිය විට  ජනතාව ගම්මිරිස් වගාකරුවන් මුහුණපා සිටින ගැටළු එතුමාගේ අවධානයට යොමු කළහ.  ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා  ගම්මිරිස් වගාවේ සංවර්ධනය පිළිබඳ නව සැලසුම් පැහැදිළි කළේය.

සබරගමුව සමන් දේවාලය ආශ්‍රිත නින්දගම් සහ පාරම්පරික ඉඩම් පිළිබඳව මතුව ඇති ගැටළු නිරාකරණය කර දෙන්නැයි ජනතාව කළ ඉල්ලීම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

බීජ නිෂ්පාදන පහසුකම් සහ කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් ලබාදෙන ලෙස ද ජනතාව ඉල්ලා සිටියහ. ඒ පිළිබඳව සොයා බලා වාර්තා කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය.

රිදීවිට – වෙළෙඳපොළ පාර කාපට් අතුරා සංවර්ධනය කර දෙන්නැයි තවත් ඉල්ලිමක් කෙරිණ. ඊට ප්‍රතිචාර පළ කළ ජනාධිපතිතුමා මාර්ග කි.මි ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ එය කඩිනමින් ඉටු කර දෙන බව කීය. වේලිඔය වැලිකැනීම පසුගිය රජය සමයේ පෞද්ගලික සමාගමක් වෙත පවරා දී තිබේ. බලපත්‍ර කොන්දේසි කඩකරමින් සීමාව ඉක්මවා වැලි ගොඩදැමීම් පිළිබඳව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඒ පිළිබඳ වහා අධ්‍යයනයක්  කරන ලෙස එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගොඩකවෙල ජනහමුව නිමවී ආපසු යන අතරතුර ගොඩකවෙල ප්‍රදේශීය සභාව අසළදී එහි කාර්ය මණ්ඩලය සමග ද  ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය.  ඔවුන්ගේ තොරතුරු විමසූ ජනාධිපතිතුමා මුහුණ පා ඇති අඩු පාඩු මොනවාදැයි විමසිය. ප්‍රදේශයට අඩුවක්ව ඇති ආදාහනාගාරයක් ඉදිකරදීමට සහ ක්‍රීඩාංගණය සංවර්ධන කිරීමට  ක්‍රියාකරන බව  ජනාධිපතිතුමා පැවසීය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, හිටපු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, කාංචන ජයරත්න යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ

පුවත්