Presidential Secretariat of Sri Lanka

කෑගල්ලේ නාය යාම් විපත් පාලනයට විශේෂ වැඩසටහනක් – ජනපති ජනතාවට කියයි

  • ජනතාව ශක්තිමත් පාර්ලිමේන්තුවකට පූර්ණ සහාය පළ කරති.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නාය යාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිස්ත්‍රික්කයේ ජනතාවට කියා සිටී.

අද (18) පස්වරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට එක් වූ ජනාධිපතිතුමා ජනතාව ඉදිරිපත් කළ ගැටලු  විමර්ශනය කොට මේ බව පැවසීය.

බුලත්කොහුපිටිය, ලෑවන පොළ භූමියේ දී පොදුජන පෙරමුණේ අපේක්ෂිකා රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ අරණායක දිප්පිටිය රෝහල හන්දියේ දී අපේක්ෂක ඩබ්. ජයරත්න මහතා සංවිධාන කර තිබූ ජන හමුවලට ජනාධිපතිතුමා අද පස්වරුවේ එක් විය.

රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත් අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර සෙත් ප්‍රාර්ථනා  කළහ.

සුළු අපනයන බෝග ආනයනය දැන් නතර කර ඇති බැවින් මෙරට බෝග සඳහා ඉදිරියේ දී ඉහළ මිලක් ලැබෙනු ඇති බව ගොවීන් ඉදිරිපත් කළ ගැටළුවලට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා කීය.

බුලත්කොහුපිටිය – යටියන්තොට මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර දෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ප්‍රදේශයේ තරුණයන් බේරාදෙන්නැයි කළ ඉල්ලීම ද ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට යොමු විය.

අපේක්ෂක ඉදුනිල් ශාන්ත ගුණසේකර මහතා මාවනැල්ල, මයුරපාද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය.

එහිදී ද ජනතාවගේ තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක යෙදිණි

සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර සමුපකාර ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් යල් පැණ ගිය නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද  ජනතාව ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළහ.

මාවනැල්ල නගරයට අඩුවක්ව පවතින බස් නැවතුම්පොළක් ඉදිකර දෙන ලෙස හා  දනාගම වේල්ල ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ද  ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. මේ පිළිබඳ අධ්‍යයනය කොට සැලසුම් සම්පාදනය කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මයුරපාද ජාතික පාසලේ අඩුපාඩු පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය සහ කනක හේරත් යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා මාවනැල්ල නගරයේ දී සහ කනක හේරත් මහතා රඹුක්කන දුම්රියපොළ ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිතුමා සහභාගී විය.

රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට ඉහළ ජනතා ප්‍රසාදයක් පළ වූ අතර එම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවර මහා මැතිවරණයේ දී වත්මන් රජයට 2/3 ක පාර්ලිමේන්තු බලයක් ලබාදීමට තමන් කැපවී සිටින බව ඔව්හු අවධාරණය කළහ.

‘කෑගල්ලත් හදමු’ ප්‍රතිපත්ති ප්‍රකාශය කනක හේරත් මහතා සහ දිස්ත්‍රික් ඉංජිනේරු සංසදය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

අපේක්ෂක තාරක බාලසූරිය මහතා කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ වාහන අංගනයේ, අපේක්ෂක සමන් ජයසිංහ මහතා ගලිගමුව ෂාන් හෝටලය ඉදිරිපිට රථ ගාලේ, හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගලිගමුව, කෝට්ටපොල ගම්මැද්ද පාර අසල නිදහස් භූමියේ සහ අපේක්ෂක උදයකාන්ත ගුණතිලක මහතා  වරකාපොළ සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජනහමුවලට ද සහභාගී වූ ජනාධිපතිතුමාට ඉහළ ජනතා පිළිගැනීමක් හිමි විය.

අවසන් රැළි කිහිපයේ දී මහ වැසි ඇඳ වැටෙන්නට පටන් ගත් අතර වැසි නොතකා ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග කථා බහක නිරත විය.

පුවත්

Most popular