Presidential Secretariat of Sri Lanka

ජාතික වැටුප් කොමිෂන් සභාව

අංක 2162/64 හා 2019.02.14 දිනැති අති‍ විශේෂ ගැසට් පත්‍රය මගින් 2020.02.14 වන දින සිට ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් පහත සඳහන් නිලධාරින්ගෙන් සමන්විතව ජාතික වැටුප් කොමිෂන් සභාව ස්ථාපනය කර ඇත.

සභාපති
ඩබ්ලිව්.ජේ.එල්.යූ. ජයවීර මහතා

සාමාජික

චන්ද්‍රානි සේනාරත්න මිය
ගෝඨාභය ජයරත්න මහතා
සුජාතා කුරේ මිය
ආචාර්ය මධුරා වේහැල්ල මිය
එම්.එස්.ඩී. රනසිරි මහතා
වෛද්‍ය ආනන්ද හපුගොඩ මහතා
සංජීව සෝමරත්න මහතා
අජිත් නයනකාන්ත මහතා
ආචාර්ය රවී ලියනගේ මහතා
සනත් එදීරිවීර මහතා
මහාචාර්ය රංජිත් සේනාරත්න මහතා
ඉංජිනේරු  ආර්.එම් අමරසේකර මහතා
විශ්‍රාමික මේජර් ජෙනරාල් සිරි රණවීර මහතා
ඩබ්ලිව්.එච්. පියදාස මහතා

ලිපිනය –
ජාතික වැටුප් කොමිෂන් සභා‍ව
කාමර අංක 2-116, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,
බෞද්ධාලෝක මාවත, කොළඹ 07

දුරකථන අංක/ෆැක්ස්  අංකය  – 0112669134
විද්‍යුත් ලිපිනය    –nsccc16@presidentsoffice.lk

ජාතික වැටුප්  කොමිෂන් සභාවේ විධායක කාර්ය මණ්ඩලය  පහත පරිදි වේ

 

තනතුර නම දුරකතන අංකය
ලේකම් වන්ද්‍රානි සේනාරත්න මිය 0112676512
උපදේශක එම්.ඒ. ධර්මදාස මහතා 0112686423
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩබ්ලිව්.ඒ්.සී.වික්‍රමතිලක මිය 0112673412
එම්.ඩි.අයි.බී. ගමගේ මිය 0112691137
සහකාර ලේකම් සී.ජී.කන්නන්ගර මයා 0112696364
කේ.කේ.ජේ.රොෂාන් මයා 0112696364
ඩබ්ලිව්.පී සුරවීර මිය 0112676514
ටී එම් කේ රත්නායක මහතා 0112686423
ඒ කේ ඩී ඊ ගුණසේන මිය  0112676514

මෙම කොමිෂන් සභාවේ කාර්ය භාරය පහත පරිදි වේ.

(අ)      පළාත් රාජ්‍ය සේවය හා සන්නද්ධ සේවාවන් ද ඇතුළු රාජ්‍ය සේවය ද, ඒකාබද්ධ අරමුදලින් වැටුප් ගෙවනු ලබන සුවිශේෂී ආයතනයන් ද, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල, රජය සතු සමාගම්, රාජ්‍ය ව්‍යවසායයන්, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රජයේ බැංකු හා වෙනත් මූල්‍ය ආයතන ද, සියලුම නියාමන ආයතනයන්ද ඇතුළුව සමස්ත රාජ්‍ය අංශයේ සියලුම ක්ෂේත්‍රයන්හි වැටුප් හා වේතන අතුළුව මූල්‍යමය පරිශ්‍රමිකයන් හා මූල්‍යමය නොවන අනෙකුත් විවිධ පහසුකම් ද අඛණ්ඩ සමාලෝචනයකට ලක් කිරීම පදනම් කරගෙන පූර්වෝක්ත අරමුණු සාක්ෂාත් කර ගැනීමට මග පෑදෙන ජාතික වැටුප් හා වේතන ප්‍රතිපත්තියක් පිළිබඳව රජයට උපදෙස් ලබාදීම.

  1. රජයේ සමාජ ආර්ථික ප්‍රතිපත්ති වඩාත් අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වර්තමානයේ හා නුදුරු අනාගතයේ රාජ්‍ය සේවයට අවශ්‍ය කරන කළමනාකරණ, විද්‍යාත්මක සහ තාක්ෂණික ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම සහිත ප්‍රවීණයන් රාජ්‍ය අංශයේ අදාළ ක්ෂේත්‍ර කෙ‍රෙහි ආකර්ෂණය කර ගැනීම සඳහා සේවා නියුක්ති තත්ත්වයන් හි ඇති කළයුතු වෙනස්කම්.
  2. මීට ඉහත පත් කළ වැටුප් කොමිෂන් සභා නිර්දේශ අනුව හෝ එක් එක් අවස්ථාවන්හිදී කරනු ලැබූවා වූ හෝ වැටුප් වැඩිකිරීම් නිසා උද්ගතව ඇති දැනට පවත්නා වැටුප් විෂමතාවන් නිවැරදි කිරීමේ අවශ්‍යතාවය.
  3. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද සේවා නියුක්තිකයන් තෘප්තිමත් වූත්, අභිප්‍රේරණය වූත්, අවශ්‍ය නිපුණතාවයන්ගෙන් සමන්විත වූත් පිරිසක් බවට පත්කිරීමේ අවශ්‍යතාවය.
  4. වඩාත් ඉහළ ඵලදායීතාවයක් හා කාර්යක්ෂමතාවයක් ලබාගැනීමට රාජ්‍ය සේවය මෙහෙයවීමේ අවශ්‍යතාවය මෙන්ම පෞද්ගලික අංශයේ ශ්‍රමබල අවශ්‍යතා සපුරාගැනීමට ඇති බාධක ඉවත් කිරීමේ අවශ්‍යතාවය.
  5. රජයේ පුනරාවර්තන වියදම් ඉතා ඉහළ මට්ටමක මෙන්ම රජයේ ආයෝජන වියදම් පහළ මට්ටමක පැවතීමත්, රාජ්‍ය වියදම් වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවයත් සැළකිල්ලට ගනිමින්, ඉදිරිපත් කරන යෝජනාවලිය රජයේ අරමුදල් සීමාවන් තුළ ක්‍රියාත්මක කිරීම කළ හැකි බව.

(ආ)      දැනට පවතින වැටුප් හා වේතන, සේවක සංඛ්‍යාව හා සේවා තත්ත්වයන්, බඳවා ගැනීමේ පටිපාටි, උසස්වීම් පටිපාටි හා සේවා ව්‍යවස්ථාවන් ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු මෙන්ම වරින් වර කරනු ලැබ ඇති වැටුප් වැඩිකිරීම් නිසාවෙන් දැනට පැන නැගී ඇතැයි පෙන්වා ඇති විෂමතාවන් අවම කිරීම පිණිස රජයට යෝජනා ඉදිරිපත් කිරීම.

(ඇ)      සමාන වගකීම් දරන්නා වූ හෝ සමාන සුදුසුකම් සහිත වන්නා වූ හෝ වෘත්තිකයින් විසින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයන්හි දී ලබන්නා වූ වැටුප් හා වේතනයන් සහ දීමනා අතර ඇති විෂමතාවයන් වේ නම් ඒවා අවම කිරීම පිණිස මග පෙන්වන වැටුප් හා වේතන ව්‍යුහයක් පිළිබඳව රජයට යෝජනා ඉදිරිපත් කිරීම.

(ඈ)      ඇතැම් රජ‍යේ ආයතන  විසින් වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන පාරිතෝෂික දීමනා ඇතුළු විවිධ දිරිගැන්වීමේ ක්‍රම ‍හා ප්‍රදාන ක්‍රම සමාලෝචනයට ලක්කර පාරිතෝෂික දීමනා, විවිධ දිරිගැන්වීමේ දීමනා හා මූල්‍ය නොවන දිරිකාරකයන් ලබාදීම පිළිබඳව තීරණය කිරීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමවේදයන් නිර්දේශ කිරීම.

(ඉ)       රාජ්‍ය සේවයේ පාරිශ්‍රමිකයන් සම්බන්ධයෙන් රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන වැටුප් සංශෝධනයන් හෝ ප්‍රතිපත්ති තීරණයන් අනුව, ඕනෑම රාජ්‍ය ආයතනයක හෝ ආයතනවල සහාය ලබාගනිමින් අවශ්‍ය පරිදි රාජ්‍ය සේවයේ සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීමේ  පටිපාටි හෝ උසස්වීම් පටිපාටි සංශෝධනය හෝ ප්‍රතිශෝධනය කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම.

(ඊ)       රාජ්‍ය අංශයේ වැටුප් හා වේතන සේවා කොන්දේසි සම්බන්ධ‍යෙන් ඇතිවන්නා වූ ආරවුල් කඩිනමින් සමථයකට පත්කිරීම අරමුණු කරගෙන එකී ආරවුල් නිරාකරණය කිරීමට අවශ්‍ය වන විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා අධිකාරී බලයක් ඇති ආයතනයක් (බේරුම්කරණ මණ්ඩලයක්) ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වර්ෂ දෙදහසක් වූ ජූලි මස විසිවන දින පත්කරන ලද වැටුප් කොමිෂන් සභාව විසින් කරනු ලැබ ඇති  යෝජනාව ක්‍රියාත්මක කිරීම තවදුරටත් අධ්‍යයනය කර වැටුප් හා වේතන හෝ ඒ හා බැඳුනු මතභේද සම්බන්ධයෙන් ද බඳවා ගැනීම් පටිපාටි, උසස්වීම් පටිපාටි හෝ සේවා ව්‍යවස්ථා ආශ්‍රිත මතභේද සම්බන්ධයෙන් ද බේරුම්කරුවකු ලෙස ක්‍රියාකිරීම හා ඒවා සමථයකට පත්කිරීමේ ආයතනික ක්‍රමවේදයක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.

(උ)      රාජ්‍ය සේවය වඩාත් අර්ථවත් හා ජනතා ‍කේන්ද්‍රීය ආර්ථිකයකට අවශ්‍ය සේවා සැපයීම සැලකිල්ලට ගනිමින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය අංශය සඳහා තනතුරු ඇති කිරීමේදී හා එම තනතුරු ක්‍රමවත් ලෙස බෙදී යන ආකාරය සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම.

(ඌ)     රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරු දරන වෘත්තීය සුදුසුකම් හා කුසලතා සහිත නිලධාරීන් අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි හෝ විදේශ රැකියා සඳහා නිරත වීමත් එමගින් රාජ්‍ය ‍සේවය හැරයාම වළක්වනු පිණිස අවශ්‍ය ප්‍රතිපත්ති සඳහා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම.

(එ)       අපේක්ෂිත ආයු කාලය වැඩිවීම නිසාත්, පවතින ජනගහනයේ සෞඛ්‍ය තත්ත්වයන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රවණතාද සැලකිල්ලට ගෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුළුල්  සමාලෝචනයක් කර, ඉදිරි දශකයන්ට ගැලපෙන අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව හා සේවකයින්ගේ මානසික හා කායික සෞඛ්‍ය තත්ත්වයන් මෙන්ම ඵලදායී දායකත්වය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම.

(ඒ)       පෞද්ගලික අංශයේ සේවක පිරිස් සඳහා සුනිසි අවම වැටුපක්, නිපුණතා වැඩිකරලීම, රැකියා සුරක්ෂිතතාව සහ ඔවුන්ට හිමිවිය යුතු අත්‍යවශ්‍ය සුබසාධක පහසුකම් ලැබෙන බව සහතික කරවීමත්, පෞද්ගලික අංශයේ ඵලදායීතාවය තහවුරු කිරීම ජාතික ආර්ථිකය ශක්තිමත් මෙන්ම සේවක අභිවෘද්ධිය සඳහා වූ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම‍.

(ඔ)       රටේ ශ්‍රම සම්පත රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය විසින් රටේ සංවර්ධනය සඳහා ප්‍රශස්ත අයුරින් උපයෝගී කරගැනීමට අදාළ වන පරිදි ජාතික වැටුප් ප්‍රතිපත්ති රාමුවක් සඳහා රජයට යෝජනා ඉදිරිපත් කිරීම.

නව ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා වෘත්තීය සමිති වෙතින් නියෝජන කැඳවීමේ පුවත්පත් දැන්වීම

දින දීර්ඝ කළ පුවත්පත් දැන්වීම

Most popular